ඉදිරිදර්ශන

ට්‍රම්ප්ගේ මිනියාපොලිස් වාඩිලා ගැනීම නැවැත්වීමේ මහ වැඩවර්ජනයක් සඳහා!

[මෙය For a general strike to stop Trump’s occupation of Minneapolis! මැයෙන් 2026 ජනවාරි 16දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි.]

මිනියාපොලිස්හි දී 2026 ජනවාරි 14දා වෙඩි තැබීමෙන් පසුව, විරෝධතාකරුවන්ට එරෙහි ව පෙලගැසී සිටින මධ්‍යම ආන්ඩුවේ නීති බලාත්මක කරන නිලධාරීන් (ඒපී ඡායාරූප/ජෝන් ලොචර්) [AP Photo/John Locher]

රෙනේ නිකොල් ගුඩ් ඝාතනය කිරීම ඇතුලු, ට්‍රම්ප්ගේ සංක්‍රමන හා රේගු බලාත්මක බලකාය (අයිසීඊ) විසින් සිදු කරන කඩාපැනීමට විරෝධය පල කරනු වස්, ජනවාරි 23 සිකුරාදා දින සමස්ත ප්‍රාන්තය අලලාගත් එක් දින වැඩවර්ජනයක් හා ආර්ථික වසා දැමීමක් කැඳවීමට, මිනසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස්හි ප්‍රාන්ත වෘත්තීය සමිති සහ ප්‍රජා සංවිධාන අඟහරුවාදා (ජනවාරි 13) පියවර ගත්තේ ය.

මෙම ක්‍රියාවට ඉතසිතින් සහයෝගය දෙන සමාජවාදී සමානතා පක්ෂය (සසප), එයට හැකි තාක් පලල් ලෙස සහභාගිවන ලෙස කම්කරුවන්, ශිෂ්‍යයන් හා තරුනයන් උනන්දු කරයි. තම නගරය පැරාමිලිටරි කන්ඩායම් විසින් වාඩිලා ගැනීම හේතුවෙන් කෝපයට පත් ව සිටින මිනසෝටා ප්‍රාන්තය පුරා වැඩකරන ජනයාගෙන් එල්ලවන වැඩෙන පීඩනය යටතේ වැඩවර්ජනයක් සඳහා වන කැඳවුම ඉස්මතු වී ඇත. අයිසීඊ නිලධාරීන් පසු කර තම රිය ධාවනය කරමින් සිටිය දී, පපුවට හා අතට වෙඩි වැදීමෙන් මියගිය බවට මෑත දී නිකුත් කල වාර්තාවලින් තහවුරු කෙරුනු, ගුඩ්ගේ ම්ලේච්ඡ ඝාතනයේ සිට ගත වුනු දවස් 10 පුරා විරෝධතා පැතිරී ගොස් තිබේ.

මිනියාපොලිස් හි අයිසීඊ හි ත්‍රස්තවාදී පාලනයට එරෙහි සටනේ දී මහා වැඩ වර්ජනය සඳහා කරන ලද කැඳවීම වැදගත් ඉදිරි පියවරක් විය හැකි ය. එහෙත් මෙම ක්‍රියාව අවබෝධ කරගත යුත්තේ, ට්‍රම්ප් පරිපාලනයට එරෙහි නගර, ප්‍රාන්ත හා සමස්ත රට අලලාගත්, පලල් බලමුලුගැන්වීමක ආරම්භය ලෙසයි.

මෙම කැඳවුම සිදු වෙන්නේ, මිනසෝටා ප්‍රාන්තය තුල කැරලි (මර්දන) පනත බලාත්මක කරන බවට ට්‍රම්ප් තර්ජනය කරද්දී ය. මෙය, ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනයෙහි ගුනාත්මක උත්සන්න වීමකි.

අයිසීඊය විසින් ගුඩ් ඝාතනය කිරීමට එරෙහි ව පුපුරා ගොස් ඇති විරෝධතාවන්ට ප්‍රතිචාර දක්වමින්, ටෘත් සමාජ මාධ්‍යයේ පල කල පෝස්ටුවක් තුල “වෘත්තීය උද්ඝෝෂකයන් සහ කැරලිවාදීන්, අයිසීඊයේ දේශප්‍රේමීන්ට පහර දීමෙන් වැලැක්වීමට” ප්‍රාන්ත නිලධාරීන් පියවර නො ගන්නේ නම්,“තමන් කැරලි පනත ස්ථාපිත කරන බවත් ...වරක් ශ්‍රේෂ්ඨ ප්‍රාන්තයක් ලෙස පැවති ස්ථානයේ සිදු වෙමින් පවතින විකාරය ඉක්මනින් අවසානයකට ගෙන එන” බවත්, ට්‍රම්ප් ප්‍රකාශ කලේ ය.

විරෝධතා හා මහජන ප්‍රතිරෝධය “කැරැල්ලක්” ලෙස හංවඩු ගැසීම මගින්, ට්‍රම්ප් පාලන තන්ත්‍රය මහා පරිමාන ප්‍රචන්ඩත්වය සඳහා ආරම්භක වැඩකටයුතු ක්‍රියාවට නගමින් සිටී. පෝසේ කොමිටේටස් පනත (මිලිටරිය හා සිවිල් බලාධිකාරය අතර වෙන් වීම තහවුරු කරමින්, නීතිය දේශීය ව බලාත්මක කිරීමේ දී මිලිටරි භටයන් යොදාගැනීම සීමා කරන එක්සත් ජනපද පනතකි -පරි.) අභිබවා යමින් එක්සත් ජනපද මිලිටරිය දිගේලි කරනු වස්, කැරලි පනත ජනාධිපතිවරයාට බලය ලබා දෙයි. ප්‍රාන්තය වෙතින් කිසිදු ඉල්ලීමක් නොමැති ව, මිනියාපොලිස් මහජනයාට එරෙහි ව කැරලි පනත යොදාගන්නා බවට ට්‍රම්ප් කරන තර්ජනය, පැහැදිලි ව ම නීති-විරෝධී වේ.

බදාදා සවස ප්‍රාන්ත ඩිමොක්‍රටික් ආන්ඩුකාර ටිම් වෝල්ට්ස් නිකුත් කල අත්‍යසාමාන්‍ය ප්‍රකාශයක් තුල, සිදු වෙමින් පවතින දෙයෙහි දෘඪතර යථාර්ථය පිලිගැනුනි. ප්‍රාන්තය තුල සිදුවෙමින් පවතින වර්ධනයන් “විශ්වාස කල නො හැකි” බවත්, “අපේ ප්‍රජාවන් මතට මධ්‍යම ආන්ඩුව ඇති කරමින් සිටින වියවුලේ, කඩාකප්පල්කාරීත්වයේ හා ක්ෂතියේ මට්ටමට ප්‍රවෘත්ති වාර්තා සරල ව ම සාධාරනය ඉටු නො කරන” බවත්, ඔහු ප්‍රකාශ කලේ ය.

මධ්‍යම ආන්ඩුව ප්‍රාන්තය පුරා “සන්නද්ධ භටයන් දෙදහසේ සිට තුන්දහස දක්වා ප්‍රමානයක්” දිගේලි කර ඇති අතර ඔවුන් දොරින් දොරට යමින්, “ඉවක් බවක් නැති ව එක්සත් ජනපද පුරවැසියන් ඇතුලු මහජනයා ඉවතට ගනිමින් ඔවුන්ගේ ලේඛන පෙන්විය යුතු” යැයි බල කරන බවත්, “ජනෙල් බිඳිමින්, ගර්භනී කාන්තාවන් වීදි දිගේ ඇදගෙන යමින්, මිනසෝටා වැසියන් බලහත්කාරයෙන් පැහැර ගෙන, අංක නොමැති වාහන තුලට ඔවුන් පටවමින්, අනතුරු ඇඟවීමක් හෝ නිසි ක්‍රියාදාමයෙන් තොර ව අහිංසක ජනයා පැහැර ගන්නා” බවත් වෝල්ට්ස් සඳහන් කලේ ය.

“අපේ ම මධ්‍යම ආන්ඩුව මිනසෝටා වැසියන්ට එරෙහි ව ගෙන යන සංවිධිත ම්ලේච්ඡත්වයේ ව්‍යාපාරයක්“ ලෙස වෝල්ට්ස් මෙම මෙහෙයුම විස්තර කලේ ය. “දන්ඩනයේ හා විපාක ලැබීමේ දිනය පැමිනෙමින් පවතින්නේ ය” යන ට්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී තර්ජනය උපුටා දැක්වූ ආන්ඩුකාරවරයා මෙසේ සඳහන් කලේ ය: “එය මෙම ප්‍රාන්තයේ මහජනයාට එරෙහි ඍජු තර්ජනයක්.”

මිනියාපොලිස්හි පවතින තත්ත්වය ගැන වෝල්ට්ස් කී දේ සත්‍යයකි. එහෙත්, කිසිසේත් ම නොමැති දෙය වන්නේ, ට්‍රම්ප් හා අයිසීඊය නැවැත්වීමට අවශ්‍ය බැරෑරුම් මූලෝපායකි. “උසාවියේ දී හා ඡන්ද පෙට්ටියේ දී” සටන් වැදීම පිලිබඳ ව වෝල්ට්ස් කතා කල ද ට්‍රම්ප් දැනට මත් පැහැදිලි කර ඇත්තේ, ඔහුගේ අධිකාරියට අභියෝග කරන කිසිදු නෛතික තීන්දුවක් නො තකා හරින බව යි. තව ද ජනාධිපති ලෙස ට්‍රම්ප් සිදු කරන “නිල ක්‍රියාවන්” අරභයා, ඔහුට විරුද්ධ ව නඩු පැවරිය නො හැකි බව 2024 දී තීන්දු කල ෆැසිස්ට්වාදීන් හා ප්‍රතිගාමීන් කල්ලියක් ශ්‍රේෂ්ඨාධිකරනය පාලනය කරති.

මැතිවරන ගැන සලකන විට, 2026 මධ්‍යවාර මැතිවරනය අවලංගු කිරීමට හෝ ශූන්‍ය කිරීමට හෝ ඒවා පැවැත්වුව ද ඒවා යුද නීති කොන්දේසි යටතේ පැවැත්වීමට ට්‍රම්ප් ඍජු ව තර්ජනය කරමින් සිටී. බ්‍රහස්පතින්දා රොයිටර් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී, “අපට මැතිවරනයක් අවශ්‍ය නො වන ප්‍රමානයට” තමන් බොහෝ දේ ඉෂ්ඨ කර ඇතැයි, ට්‍රම්ප් ප්‍රකාශ කලේ ය.

පරිපාලනය ජාතික ඡන්දදායක දත්ත ගොනුවක් නිර්මානය කරමින් සිටින බව සහ සමාජ ආරක්ෂන අංක හා පුද්ගලික ලිපින ඇතුලු ඡන්දදායකයන්ගේ සම්පූර්න වාර්තා එවන ලෙස ප්‍රාන්තවලට අනවමින් සිටින බව, බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති ජාලය බදාදා වාර්තා කලේ ය. මෙම යටිතල පහසුකම් සහිත ව, ඡන්දය දෙන ස්ථානවල දී ඡන්දදායකයන් “සමීක්ෂනය” කිරීමටත්, ඡන්දය පාවිච්චි කරන්නන් ගේ සංඛ්‍යාව අඩු කිරීමටත්, කම්කරු පන්තිය හා සංක්‍රමනික ප්‍රජාවන් බියවැද්දීමටත්, අයිසීඊ ඒජන්තයන් දිගේලි කල හැකි ය.

“(ට්‍රම්ප්) යමක් කරන බව කියන විට, ඔහු එය සැබෑවට ම අර්ථවත් කරන“ බව, මේ මාසය මුල දී වොෂින්ටනය වෙනිසියුලාව ආක්‍රමනය කිරීම විස්තර කරමින්, රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ ඍජු ව සඳහන් කලේ ය. කැරලි පනත යොදාගැනීම, මැතිවරන අවලංගු කිරීම හා යුද නීතිය පැනවීමට ට්‍රම්ප් කරන තර්ජනයන්ට ද මෙම තර්කනය ම වලංගු වේ.

පොලිස්-රාජ්‍ය වාඩිලා ගැනීමට හා දිගහැරෙමින් පවතින ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනයට, මිනියාපොලිස් ඇතුලත හා ඉන් ඔබ්බේ යෝධ විරුද්ධත්වයක් පවතී. ගුඩ් ඝාතනය කල සතියේ පටන්, පලල් මහජන කන්ඩායම් සහභාගි වන විරෝධතා, උසස් පාඨශාලා පන්ති වර්ජන සහ විරෝධයේ හා ප්‍රතිරෝධයේ ක්‍රියාවන් දෛනික ව පැවතී ඇත.

සියලු ධනය නිෂ්පාදනය කරන සහ සමාජය නැවැත්වීමකට ගෙන ආ හැකි බලය සහිත යෝධ සමාජ බලවේගය වන කම්කරු පන්තිය ක්‍රියාකාරී ව බලමුලුගැන්වීමෙන් පමනක් ප්‍රතිරෝධය සාර්ථක වනු ඇත. දැන් අවශ්‍ය වන්නේ, නිර්-අරගලයෙන් (අරගල නොකර සිටීම) හා ඩිමොක්‍රටික් පක්ෂය සමග සහයෝගීතාවෙන් ඉවත් වී, කම්කරුවන්ගේ මහජන ව්‍යාපාරය ස්වාධීන ව සංවිධානය කිරීමට කටයුතු කිරීම යි.

ජනවාරි 23දාට කැඳවා ඇති ක්‍රියාවේ අර්ථභාරය මෙය යි. මිනියාපොලිස් නගරය වාඩිලා ගැනීමට ප්‍රතිචාර ලෙස, මහ වැඩවර්ජන ව්‍යාපාරයක අවශ්‍යතාව ලෝක සමාජවාදී වෙබ් අඩවිය යලි යලිත් ඉස්මතු කර තිබේ. එහෙත්, මහ වැඩවර්ජනයක් යනු සංකේතාත්මක විරෝධයක් හෝ පාරිභෝගික වර්ජනයක් නො වේ. එහි අර්ථය වන්නේ, නිශ්පාදනය හා ආර්ථික ක්‍රියාකාරීත්වය සම්පූර්නයෙන් වසා දැමීම යි.

රජ්‍ය සේවකයන් සඳහා වන නීති මගින් හා සාමූහික කේවල් කිරීමේ එකඟතාවන් මගින්, වැඩ වර්ජන ක්‍රියාවන්ට සහභාගි වීම තහනම් කෙරී ඇති බවට, ආන්ඩුකාරයා විසින් පත් කෙරුනු මෙට්‍රොපොලිටන් (මහනගර) කවුන්සිලය විසින් නිකුත් කරන තර්ජන, කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කල යුතු ය. ට්‍රම්ප් පරිපාලනය විවෘත ව මෙහෙයවෙමින් සිටින්නේ, නෛතිකභාවයේ සීමාවන්ගෙන් ඔබ්බේ ය. පන්ති අරගලය මර්දනය කිරීම උදෙසා වෘත්තීය සමිති යාන්ත්‍රනය සාකච්ඡා කර එලඹෙන කොන්ත්‍රාත් එකඟතාවන්ට, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම යටත් කල නො හැක.

මෙයට සමස්ත කම්කරු පන්තිය බලමුලුගැන්විය යුතු ය. ප්‍රාන්ත වෘත්තීය සමිති ගනනාවක් ජනවාරි 23 විරෝධතාව අනුමත කර ඇති අතර, ඩිමොක්‍රටික් පක්ෂයට සමීප ව බැඳී සිටින මිනියාපොලිස් ඒඑෆ්එල්-සීඅයිඕ සමිතිය, එය අනුමත කිරීම මේ දක්වා ප්‍රතික්ෂේප කර ඇත. රෙනේ නිකෝල් ගුඩ් ඝාතනය කිරීමෙන් පසුව, තමා “කම්පනයට, සිත් තැවුලට හා කෝපයට“ පත් වූ බව ප්‍රකාශ කරමින් ප්‍රාන්ත කම්කරු සම්මේලනය ප්‍රකාශයක් නිකුත් කල ද කිසිදු ක්‍රියාවක් කැඳවුම් කලේ නැත. ඒ වෙනුවට, එය කම්කරුවන් යොමු කලේ, “සම්පූර්න විමර්ශනයක්” ගැන හා “ඡන්දයෙන් පත්වුනු නිලධාරීන්ට” ආයාචනා කිරීම ගැන විශ්වාස කිරීමටයි.

බ්‍රහස්පතින්දා ලෝසවෙඅට අදහස් දැක්වූ මිනසෝටා ඒඑෆ්එල්-සීඅයිඕ සභාපති බර්නී බර්න්හැම් කියා සිටියේ, ජනවාරි 23දා ක්‍රියාවට සහයෝගය දීම හෝ වැඩ වර්ජනයක් ගැන කිසිදු ප්‍රකාශයක් දීමට පෙර, තමන් විධායක මන්ඩලයේ උපදෙස් ලබාගත යුතු බව යි.

සෑම වැඩපොලක, පාසලක හා නිවහන් ප්‍රදේශයක ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් ස්වාධීන ව සංවිධානය වන ලෙස සසප කම්කරුවන්ට කැඳවුම් කරයි. ට්‍රම්ප්ට එරෙහි සැබෑ අරගලයකට හතුරු වන ඩිමොක්‍රටික් පක්ෂයේ හෝ වෘත්තීය සමිති යාන්ත්‍රනයේ මෙහෙයුම්වලට කම්කරුවන්ගේ අරගලය යටත් කල නො හැක.

සෑම කර්මාන්තශාලාවක, පාසලක, ගබඩාවක, ඩිපෝවක හා වැඩපොලක ම වෘත්තීය සමිතිගත මෙන් ම එසේ නැති සියලු කම්කරුවෝ හදිසි රැස්වීම් ඉක්මනින් පැවැත්විය යුතු ය. අරගලය සම්බන්ධීකරනය කිරීම හා මෙහෙයවීම ද මහජන ආරක්ෂාව ද භාර නියෝජිතයෝ මෙම රැස්වීම්වල දී කම්කරුවන් විසින් ක්‍රියාකාරී කමිටුවලට තෝරා පත්කල යුතු වෙති.

විවෘත වැඩ වර්ජන ක්‍රියාමාර්ග අනුමත කරන යෝජනා සම්මත කරගත යුතු ය. රෙනේ නිකොල් ගුඩ්ගේ ඝාතකයා අත්අඩංගුවට ගෙන චෝදනා ඉදිරිපත් කිරීම; සියලු අයිසීඊ, රේගු හා දේශසීමා ආරක්ෂක (සීබීපී) හා ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (ඩීඑච්එස්) හමුදා වහා ම ඉවත් කිරීම; සංක්‍රමනික ප්‍රජාවන් ත්‍රස්ත කරන මෙම පැරාමිලිටරි ඒජන්ත ආයතන අහෝසි කිරීම; සහ අයිසීඊ අත්අඩංගුවේ සිටින සියලු රැඳවියන් වහා ම නිදහස් කිරීම ඇතුලු සංයුක්ත ඉල්ලීම් මාලාවක් එවන් යෝජනා හරහා උදීරනය කල යුතු ය.

මහා පරිමාන පොදු ක්‍රියාවන් සඳහා වන ව්‍යුහයන් නිර්මානය කරමින්, අන්තර්-කර්මාන්ත හා අන්තර්-කලාපීය වසයෙන් මෙම ක්‍රියාකාරී කමිටු සම්බන්ධ කිරීම සඳහා සම්බන්ධීකරන කමිටු ස්ථාපිත කල යුතු ය.

එවන් ව්‍යාපාරයක් සඳහා මෙම නගරයේ ඉතිහාසය තුල ම බලගතු පූර්වාදර්ශයක් පවතී. ට්‍රොට්ස්කිවාදී සටන්කරුවන් හා ටීම්ස්ටර්ස් කම්කරුවෝ නායකත්වය දුන්, ඇමරිකානු ඉතිහාසයේ වඩාත් ම සටන්කාමී හා වැදගත් මහා වැඩ වර්ජනයක අඩවිය ලෙස 1934 මිනියාපොලිස් නගරය පැවතුනි. කම්කරුවෝ, පුරවැසි සන්ධානය, ජාතික ආරක්ෂක භටකාය හා පොලිස් මර්දනය ප්‍රතික්ෂේප කලහ. වෙඩි තැබීම් හා යුද නීතිය නොතකා, තීරනාත්මක ජයග්‍රහන ලබාගත් ඔවුහු, රට පුරා කාර්මික වෘත්තීය සමිතිවාදයට පදනම දැමූහ.

අද දින තත්ත්වය ඊටත් වඩා හදිසි ස්වභාවයක් ගනී. හාම්පුතුන්ගේ සංගම් හා ජාතික ආරක්ෂක භටකායේ මර්දනයට පමනක් නො ව, ෆැසිස්ට්වාදී ජනාධිපතිවරයෙකුට, ප්‍රාන්තයේ පැරාමිලිටරි හමුදා සහ විදේශයන් හා රට තුල තීව්‍ර වන යුද්ධයකටත් කම්කරුවෝ මුහුන දෙති.

බදාදා සිය අදහස් දැක්වීම්වල දී වෝල්ට්ස් කියා සිටි පරිදි, මිනියාපොලිස් යනු “දූපතක්“ නො වේ. මිනියාපොලිස් තුල සිදුවන්නේ, ආඥාදායකත්වය පැටවීමට කරන පලල් කුමන්ත්‍රනයේ පෙරමුනු ක්‍රියාවයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලන රූප නො තකා හරිමින් සිටින ධනපති කතිපයාධිකාරයක දේශපාලන උපකරනය ලෙස, ට්‍රම්ප් කතා කරමින් ක්‍රියා කරයි. වෝල් වීදියේ හා මිලිටරි-ඔත්තු සේවා යාන්ත්‍රනයේ පක්ෂයක් වන ඩිමොක්‍රටික් පක්ෂය, මෙම අන්තරායට එරෙහි කිසිදු අව්‍යාජ ව්‍යාපාරයකට හතුරු ය.

දැන් මිනියාපොලිස්හි ඉස්මතු වෙමින් පවතින වැඩ වර්ජන ව්‍යාපාරය, රට පුරාත් ජාත්‍යන්තරවත් ප්‍රසාරනය කල යුතු ය. එවන් ගෝලීය ප්‍රතිප්‍රහාරයකට අවශ්‍ය ව්‍යුහය හා නායකත්වය සම්පාදනය කිරීමට, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රිකජාස) ස්ථාපිත කර ඇත. ෆැසිස්ට්වාදයට හා ආඥාදායකත්වයට පවතින විරුද්ධත්වය, යුද්ධයට, රැකියා කප්පාදුවට, උද්ධමනයට හා සමාජ කාලකන්නි භාවයට එරෙහි කම්කරු පන්තියේ අරගලය සමග සම්බන්ධ කිරීමට එය සටන් කරයි.

කල යුත්තේ කුමක් ද යන්න පිලිබඳ ව සෑම වැඩපොලක ම බැරෑරුම් සාකච්ඡාවක් වර්ධනය කරන ලෙස සසප සියලු කම්කරුවන්ට කැඳවුම් කරයි. තත්ත්වය හදිසි ය. ඉදිරි මාවත වැටී තිබෙන්නේ උසාවි හෝ ඊලඟ මැතිවරනය තුල නොව, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලුගැන්වීම හරහා ය.

Loading