ශ්‍රී ලංකාවේ නව “ප්‍රති-ත්‍රස්ත නීති,” ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ලවීමට නියමිත පුලුල් ප්‍රහාරයක පෙරලකුනු පෙන්නුම් කරයි

[මෙය Sri Lanka’s new “anti-terror laws” foreshadow sweeping attacks on democratic rights යන මැයෙන් 2026 ජනවාරි 25 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ අධිකරන හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින්, මහජන අදහස් විමසීම සඳහා, ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනතේ (පීඑස්ටීඒ) කෙටුම්පතක් නිකුත් කර ඇත. යෝජිත නීතිය මගින්, 1979 සිට බලාත්මක වන වත්මන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) ප්‍රතිස්ථාපනය කිරීමට අදහස් කෙරේ. 

ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන‍බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පිලිබඳ දශක ගනනාවක් තිස්සේ ජාතික හා ජාත්‍යන්තර විවේචනවලට දක්වන ප්‍රතිචාරයක් ලෙස, පීඑස්ටීඒ, “ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරනයක්” ලෙස ඉදිරිපත් කරමින් සිටී.

කෙසේ වෙතත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ අත්‍යවශ්‍ය ලක්ෂන ප්‍රතිනිර්මානය කරන යෝජිත නව නීතිය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන පුලුල් ප්‍රහාරයක් වන අතර, එය කම්කරු පන්තියට එරෙහි ව පන්ති යුද්ධයකට පදනම සකසයි.

අධිකරන අමාත්‍ය හර්ෂන නානායක්කාර [ඡායාරූප: ෆේස්බුක්/හර්ෂන නානායක්කාර] [Photo: Facebook/Harshana Nanayakkara]

යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එල්ල වන දැඩි විවේචන හමුවේ, අධිකරන අමාත්‍ය හර්ෂන නානායක්කාර කියා සිටියේ, එය “කෙටුම්පතක්” පමනක් බවත්, “මහජන අදහස් විමසීමෙන් පසුව සංශෝධනය කරන” බවත් ය. එවැනි සහතික කිරීම් ජනතාව රැවටීම අරමුනු කරගත් ඒවා ය.

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව 1979 දී දෙමල සටන්කාමී සංවිධාන මර්දනය කිරීම සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කලේ ය. 1983 දී බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව ආරම්භ වූ වසර 26 ක වාර්ගික යුද්ධය අතරතුර, දිවයින පුරා දෙමල සුලුතරයට එරෙහි ව මෙන්ම, 1988-1990 දී ජනතා විමුක්ති පෙරමුන විසින් නායකත්වය දුන් ග්‍රාමීය තරුනයින්ගේ ආන්ඩු-විරෝධී නැගිටීමේ ලේ වැකි මර්දනය සඳහා සහ වඩාත් පුලුල් ලෙස දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව මෙම නීතිය නිර්දය ලෙස භාවිතා කරන ලදී.

1994 සිට, ශ්‍රී ලංකාවේ ධනපති පක්ෂ, මර්දනකාරී නීතිවලට එරෙහි මහජන විරෝධය ගසා කෑමේ නරුම උත්සාහයක් ලෙස ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන බව නැවත නැවතත් ප්‍රකාශ කර ඇතත්, එම පොරොන්දු අතහැර දමා බලයට පත්වීමෙන් පසු එම පියවරයන් නිර්දය ලෙස භාවිතා කිරීම දිගට ම කරගෙන යයි.

තම ජනාධිපතිවරන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දී, ජවිපෙ/ජාජබ, තමන් බලයට පත්වීමෙන් පසු, “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුලු සියලු පීඩාකාරී පනත් අහෝසි කරන බවටත්, රටේ සෑම ප්‍රදේශයක ම ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සහතික කරන බවටත්” පොරොන්දු විය (සමෘද්ධිමත් ජාතියක්, ලස්සන ජීවිතයක් මැතිවරන ප්‍රකාශයේ 129 පිටුව). ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පියවර “නැවත සාකච්ඡා කිරීම” මගින් සමාජීය හා ජීවන තත්වයන් සමනය කිරීම ඇතුලු එහි අනෙකුත් සියලු පොරොන්දු මෙන්ම, මෙම පොරොන්දුව ද කුනු කූඩයට දමා ඇත.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අනෙකුත් ජවිපෙ/ජාජබ නායකයින්, පූර්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත විවේචනය කලහ. කෙසේ වෙතත්, පීඑස්ටීඒ හි බොහෝ වගන්ති, එම පනත් කෙටුම්පත සමග සමීප ලෙස සමාන වේ.

එම නීතිය හඳුන්වන නම වන—ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම—යන්නෙන් පැහැදිලි වන්නේ, එය ධනේශ්වර රාජ්‍යය ආරක්ෂා කිරීම අරමුනු කරගත් එකක් බවයි. පීඑස්ටීඒ හි, ත්‍රස්තවාදය අර්ථ දක්වා ඇත්තේ, එය ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්දනය කිරීමට පහසුවෙන් භාවිතා කල හැකි ආකාරයට, වඩාත් පලල් හා නොපැහැදිලි වචන වලිනි.

පනත් කෙටුම්පතේ 3 වන වගන්තියේ ත්‍රස්තවාදී ක්‍රියා අර්ථ දක්වා ඇත්තේ, “භීෂන තත්වයක් ඇති කරන,” “මහජනතාව හෝ ඕනෑ ම මහජන කොටසක් බිය ගන්වන” හෝ “ශ්‍රී ලංකා ආන්ඩුවට, වෙනත් ඕනෑ ම ආන්ඩුවකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට ඕනෑ ම ක්‍රියාවක් ක්‍රියාත්මක කිරීමට හෝ එසේ කිරීමෙන් වැලකී සිටීමට බල කරන” ක්‍රියාවන් ලෙසය.

ජාමූඅ කප්පාදු පියවරවලට, සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාර වලට, අධිරාජ්‍යවාදී යුද්ධයට සහ ගාසා තීරයේ ජන සංහාරයට එරෙහිව කම්කරුවන්, තරුනයින් සහ පීඩිත ජනතාව විසින් පවත්වනු ලබන වැඩවර්ජන සහ විරෝධතා, එවැනි විධිවිධාන භාවිතා කරමින්, අපරාධකරනය කල හැකිය. නිදසුනක් වශයෙන්, රජය සතු ආයතන පෞද්ගලීකරනය කිරීම නතර කරන ලෙස හෝ අත්‍යවශ්‍ය සේවා රෙගුලාසිවලට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින විරෝධතා “ත්‍රස්තවාදය” ලෙස සංලක්ෂනය කල හැකිය.

විනිවිද පෙනෙන රැවටීමක් ලෙස, විරෝධතා, විසම්මුතිය, වැඩවර්ජන හෝ කාර්මික ක්‍රියාමාර්ගවලට සහභාගී වීම ත්‍රස්තවාදී වරදක් ලෙස අනුමාන කිරීමට “එම ක්‍රියාව පමනක්ම” ප්‍රමානවත් නොවන බව, කෙටුම්පතේ උප වගන්තියක සඳහන් වේ. මෙය ප්‍රෝඩාවකි. පාලක පන්තියට අවශ්‍ය යැයි හැඟෙන සෑම අවස්ථාවක ම, රාජ්‍ය ප්‍රතිපත්තිවලට විරුද්ධ ක්‍රියා, තවමත් අත්තනෝමතික ලෙස ත්‍රස්තවාදය ලෙස අර්ථ දැක්විය හැකි ය.

9 සහ 10 වැනි වගන්තිවලට අනුව, ත්‍රස්තවාදී ක්‍රියා දිරිමත් කිරීමට හෝ පෙලඹවීමට හේතු වන බවට චෝදනා එල්ල කලහැකි කතා, ප්‍රකාශන සහ තොරතුරු බෙදා හැරීම හෝ සන්තකයේ තබා ගැනීම අපරාධ ලෙස සැලකේ. ඊලඟ කොටස තුල මෙම නියෝග, අන්තර්ජාලය, විද්‍යුත් මාධ්‍ය සහ අනෙකුත් සියලු ම ආකාරයේ මහජන ප්‍රචාරන මාධ්‍ය දක්වා ව්‍යාප්ත කෙරේ.

සෝදිසි කිරීමේ සහ අත්අඩංගුවට ගැනීමේ බලතල පොලිසියෙන්, සන්නද්ධ හමුදා සාමාජිකයින්ට සහ වෙරලාරක්ෂක නිලධාරීන්ට ලබා දී ඇති අතර, ඔවුන්ට පුද්ගලයින් පැය 24 ක් දක්වා රඳවා තබා ගැනීමටත්, පොලිසියට භාර දීමටත් බලය ඇත. මෙය, නීතිය ක්‍රියාත්මක කිරීම තවදුරටත් හමුදාකරනය කිරීමක් සංකේතවත් කරයි.

තවත් කොටසක “රහස්‍ය තොරතුරු” සම්බන්ධ විමර්ශන ගැන සඳහන් වන අතර, බලධාරීන්ට “ජාතික ආරක්ෂාවට අදාල ඕනෑම රහස් කේතයක්, වචනයක්, මුරපදයක් හෝ සංකේත බවට පත්කරන ලද විස්තරයක් (encryption detail) ලබා ගැනීමට ඉඩ සලසයි. මෙම සඳහන තුල, සංකේත හරහා කෙරෙන සන්නිවේදනයන් (encrypted communications) අපරාධ ලෙස ද, සංකේතිත යතුරු (encryption keys) “රහස්‍ය තොරතුරු” ලෙස ද සැලකීමේ විභවය පවතී. 

සමාජ මාධ්‍ය විවේචන මැඩපැවැත්වීම සඳහා පීඑස්ටීඒ භාවිතා කල හැකි ආකාරය පෙර ඇඟවුම් කරමින්, ආන්ඩුව, දැනටමත් වික්‍රමසිංහ ආන්ඩුවේ අන්තර්ජාල ආරක්ෂන පනත භාවිතා කරමින් සිටී.

පවතින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, සැකකරුවන්ගෙන් ලබා ගන්නා පාපොච්චාරන අධිකරන කටයුතුවල දී සාක්ෂි ලෙස භාවිතා කල හැකි ය. ශ්‍රී ලංකා පොලිසිය, වධහිංසා පැමිනවීම මගින් එවැනි “පාපොච්චාරන” ලබා ගැනීම සම්බන්ධයෙන් කුප්‍රකට ය. වත්මන් පනත් කෙටුම්පත මඟින්, පොලිස් නිලධාරීන්ට ප්‍රකාශයක් හෝ “පාපොච්චාරනයක්” ලබා ගැනීම සඳහා සැකරුවෙකු මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියට ගෙන යා හැකි බව යෝජනා කරයි. මෙම සංශෝධනය, සැකකරුවන්ට චෝදනා එල්ල කරන ප්‍රකාශ ලබා ගැනීම සඳහා පොලිසියේ බලහත්කාරකම් වලක්වන්නේ නැත.

64 වන වගන්තියට අනුව, පුද්ගලයෙකු “වරදක් කිරීමට සූදානම් වන” බවට සැක කිරීමට “සාධාරන හේතු” තමාට තිබේ නම්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට 'තහනම් නියෝග' පැනවිය හැකි ය. එ මෙන් ම, එවැනි නියෝගයක් පැනවීමකින් තොරව එම කල්ක්‍රියාව විමර්ශනය කල නොහැක.

මේ අනුව පහත දෑ තහනම් කල හැක: කෙනෙකුට පදිංචි ස්ථානයෙන් පිටත සංචරනය; ශ්‍රී ලංකාව තුල හෝ විදේශයන්හි සංචාරය කිරීම; පදිංචිය සහ රැකියාව අතර සාමාන්‍ය ගමන් මාර්ගවලින් බැහැරවීම; සහ නිශ්චිත පුද්ගලයින් සමඟ සන්නිවේදනය හෝ ඇසුරු කිරීම. 

ත්‍රස්තවාදයට සම්බන්ධ චෝදනා සඳහා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ඇතුලුව, විවිධ වැරදි සඳහා දැඩි දඬුවම් යෝජනා කෙරේ. අනුබල දීම සහ ඇසුරු කිරීම ඇතුලු අනෙකුත් වැරදි සඳහා වසර 20 ක් දක්වා සිර දඬුවම් සහ රුපියල් මිලියන 20 ක් දක්වා දඩ හෝ වසර 15 ක සිර දඬුවම් සහ රුපියල් මිලියන 15 ක් දක්වා දඩ නියම කෙරේ.

මහේස්ත්‍රාත්වරයෙකුගේ අනුමැතියට යටත් ව, පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත, පුද්ගලයෙකු, වසරක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තවත් වසරක් රඳවා තබා ගත හැකිය. පොලිස්පතිවරයාගේ නිර්දේශය මත, ජනාධිපතිවරයාට, රඳවා තබා ගැනීමේ ස්ථානය තීරනය කල හැකිය. රඳවා තබා ගැනීමේ ස්ථානය පිලිබඳව අධිකරනයට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට දැනුම් දිය යුතු ය. එවැනි සීමා පැනවීමකින් මෙම ත්‍රස්ත නීතිවල බරපතලකම කිසිලෙසකින්වත් අවම නොකෙරේ.

ආන්ඩුව විසින් පනවන ලද ජාමූඅ කප්පාදු පියවරයන්ට එරෙහි ව මහජන විරෝධය තීව්‍ර වෙමින් පවතින අතර පීඑස්ටීඒ හඳුන්වා දෙනු ලැබෙන්නේ, ගැඹුරු වන ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ය. දිසානායක ආන්ඩුව සහ පාලක ප්‍රභූව, තම පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ආකාර හරහා තව දුරටත් ගෙන යා නොහැකි බව හොඳින් දනියි.

ගැඹුරු වන ගෝලීය අර්බුදයක පසුබිමක සෑම රටක ම පාලක පන්ති, ෆැසිස්ට් සහ මිලිටරිකරනය වූ පාලන ක්‍රම දෙසට හැරෙමින් පවතී. එක්සත් ජනපදය තුල, ට්‍රම්ප් පරිපාලනය ෆැසිස්ට්වාදී පාලනය තහවුරු කිරීමට කටයුතු කරමින් සිටින අතර, ජර්මනිය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය ඇතුලු අනෙකුත් රටවල ආන්ඩු, මර්දනකාරී පියවරයන් අනුගමනය කරමින් සිටී.

2022 දී රට තුල ඇති වූ පෙර නොවූ විරූ ආර්ථික බිඳවැටීමෙන් සහ පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කල ආන්ඩු-විරෝධී මහජන නැගිටීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ඇති වූ දේශපාලන අර්බුදයේ සහ නොවැම්බර් අග දී ඇති වූ දිට්වා සුලි කුනාටුවේ විනාශකාරී බලපෑමේ ආර්ථික ව්‍යසනය තවදුරටත් පවතී.

රාජපක්ෂ බලයෙන් පහ කල මහජන විරෝධතා සහ ඉන් පසුව වික්‍රමසිංහගේ පරිපාලනයට එරෙහිව නැඟී ආ විරෝධයෙන් භීතියට පත් ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ කොටස්, ජාමූඅ කප්පාදු ඉල්ලීම් පැනවීමට සහ මහජන විරෝධය මර්දනය කිරීමට මාධ්‍යයක් ලෙස ජවිපෙ/ජාජබ තෝරා පත් කර ගැනීමට සහාය දුන්නේ ය.

පසුගිය වසර තුල, ගාසා තීරයේ ජන සංහාරයට විරුද්ධත්වය පල කල මුස්ලිම් තරුනයින්ට සහ උතුරේ සමූහ මිනීවලවල් පිලිබඳව වාර්තා කල දෙමල මාධ්‍යවේදියෙකුට එරෙහි ව ජවිපෙ/ජාජබ ආන්ඩුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතා කර ඇත. බලයට පත්වීමෙන් පසු, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන ඇති අතර, පසු ව ඔවුන් ඇප මත නිදහස් කර තිබේ.

විරෝධතා දක්වන විදුලි සේවකයින් මර්දනය කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා නියෝග ක්‍රියාත්මක කර ඇති ජවිපෙ/ජාජබ ආන්ඩුව, තැපැල් සේවකයින්ට සහ ශිෂ්‍ය විරෝධතාවලට එරෙහිව මිලිටරි හා පොලිස් මර්දනය මුදා හැර තිබේ.

නව ත්‍රස්ත විරෝධී නීතිය කම්කරු පන්තියට එරෙහි යුද්ධය තීව්‍ර කිරීමට ආන්ඩුව තුල පවතින සූදානම පෙන්නුම් කරන බවට අපි අනතුරු අඟවමු.

ආන්ඩුවේ යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) සීමිත විවේචන එල්ල කර තිබේ. කෙසේ වෙතත්, අවසානයේ දී, වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයෙන් බෙදී ගිය බහුතරය වන සජබ, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට (පීටීඒ) සම්පූර්නයෙන් ම සහාය දැක්වීය. වෘත්තීය සමිති නව නීති සම්බන්ධයෙන් ද්‍රෝහී නිහඬතාවයක් පවත්වාගෙන යයි.

විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සහ එහි අනුප්‍රාප්තිකයා වූ සමාජවාදී සමානතා පක්ෂය (සසප), ආරම්භයේ සිට ම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට විරුද්ධ වූ අතර අනෙකුත් සියලුම මර්දනකාරී නීති සමඟ එය අහෝසි කරන ලෙස ඉල්ලා සිටිමින්, සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ පොදු අරගලයක් තුල සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් එක්සත් කිරීමට සටන් කලේ ය.

ජාමූඅ කප්පාදුවට එරෙහි අරගලයත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් එකිනෙක වෙන් කල නොහැකි ලෙස බැඳී පවතී. සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන ව බලමුලු ගැන්වීමට කම්කරු පන්තිය හදිසි පියවර ගත යුතු ය.

මේ සඳහා සෑම වැඩබිමක ම, වතුකරයේ සහ අසල්වැසි ප්‍රදේශයක ම, සියලු ධනේශ්වර පක්ෂවලින් සහ වෘත්තීය සමිති නිලධරයෙන් වෙන් වූ ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවීම අවශ්‍ය වේ.

කම්කරු පන්තිය එකමුතු කිරීම සහ ජාමූඅ කප්පාදුවට, රාජ්‍ය මර්දනයට එරෙහිව සහ සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා පොදු අරගලයක් තුල ගම්බද දුගීන් බලමුලු ගැන්වීම සඳහා, මෙම ක්‍රියාකාරී කමිටුවලින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කරගත් නියෝජිතයින් මත පදනම් වන, කම්කරුවන්ගේ හා ගම්බද ජනයා‌ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් සසප කැඳවුම් කර සිටී.

ක්‍රියාකාරී කමිටු පහත සඳහන් ඉල්ලීම්වලට සටන් කල යුතු යැයි අපි යෝජනා කරමු:

• පීඑස්ටීඒ එපා! පීටීඒ, ඕඑස්බී, අත්‍යවශ්‍ය මහජන සේවා පනත සහ මහජන ආරක්ෂක පනත ඇතුලු සියලු ම මර්දනකාරී නීති අහෝසි කරනු!

• සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!

• උතුරෙන් සහ නැගෙනහිරින් හමුදාව ඉවත් කරනු!

මෙම ඉල්ලීම් සහ අනෙකුත් මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වන අරගලය පාලක පන්තියට ආයාචනා කිරීමෙන් දිනා ගත නොහැකි වනු ඇත; එය, සමාජවාදී ප්‍රතිපත්තිවලට කැප වී සිටින කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන සටන සමඟ බැඳී පවතී.

Loading