[මෙය Workers and students in Sri Lanka denounce US-Israeli war against Iran මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]
කම්කරුවනි, තරුනයිනි, බුද්ධිමතුනි: ජාත්‍යන්තර සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා මාර්තු 17 වැනි දා සවස 4 සිට 7 දක්වා කොලඹ මහජන පුස්තකාලයේ පැවැත්වෙන සසප-සසජාතශි ප්‍රසිද්ධ රැස්වීමට සහභාගී වන්න.
ඉරානයට එරෙහි ව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ගෙන යන සාපරාධී යුද්ධයේ ඇඟවුම් පිලිබඳව,ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ සාමාජිකයෝ, රට පුරා කම්කරුවන් සහ විශ්ව විද්‍යාල සිසුන් සමඟ සාකච්ඡා ගෙන ගියහ.
ඉරානය යටත් කර ගැනීමත්, එහි සම්පත් සූරාකෑමත් සඳහා එය වොෂින්ටනයේ ආධිපත්‍යය යටතට ගැනීම අරමුනු කරගත් කුරිරු යුද්ධය දෙවන සතියට පිවිස තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් අතිරේක හමුදා යෙදවීම් සූදානම් කරන විට, එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාර, මූලික යටිතල පහසුකම් සමග මුලු රට ම විනාශ කර ඇති අතර 1,000 කට අධික පිරිසක් මරා දමා තිබේ.
ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුන ප්රමුඛ ජාතික ජන බලවේග ආන්ඩුව හෝ ඉන්දියානු ආන්ඩුව යුද්ධය හෙලා දැක පවා නොමැති අතර, එය සංඥා කරන්නේ, වොෂින්ටනයේ ක්‍රියාවන්ට තම නිහඬ සහයෝගයයි.
යුද්ධය මැදපෙරදිග කලාපය පුරා පැතිර යත් ම, අනෙකුත් රටවල මෙන් මෙම දිවයිනේ ද තෙල් හා ගෑස් මිල ඉහල යමින් පවතින අතර ඉන්ධන හිඟයක් ඇතිවීමේ ශක්‍යතාව ගැන බියක් පැතිරී ඇත.
එම සන්දර්භය තුල, ජාත්‍යන්තර සමාජවාදයේ දෘෂ්ටිකෝනයෙන්, කම්කරුවන්ගේ සහ තරුනයින්ගේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාව සම්බන්ධයෙන් සසප/සසජාතශි සාමාජිකයෝ දීර්ඝ වශයෙන් සාකච්ඡා කලහ.
වයඹ පලාතේ වෙරලබඩ නගරයක් වන පුත්තලමේ පාසලක දේශපාලන විද්‍යා ගුරුවරියක් යුද්ධය දැඩි ලෙස හෙලා දුටුවා ය: “මේ නීති විරෝධී යුද්ධය සාධාරනීකරනය කරන්න, ඉරානය න්‍යෂ්ටික අවි සංවර්ධනය කරමින් සිටින බවත් ඇමරිකානු ජනතාවට තර්ජනයක් එල්ල කරන බවත් කිය කිය ඩොනල්ඩ් ට්‍රම්ප් බොරු පතුරුවා හැරියා. මේ ප්‍රකාශ අසත්‍යයි. ඔවුන්ට ඇත්තටම අවශ්‍ය, ඉරානයේ තෙල් සම්පත් අත්පත් කර ගන්න. ඒ වගේම චීනයට තෙල් සැපයුම කපා හරින්න,” ඇය පැවසුවා ය.
ඉරානයේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිලිබඳ ට්‍රම්ප්ගේ ප්‍රකාශ ගැන සඳහන් කරමින් ඇය මෙසේ පැවසුවා ය: “ඇමරිකානු ආන්ඩුව ජනතාව ගැන ඔය තරම් කැක්කුමක්, සැලකීමක් තියෙනවා නම්, සංක්රමනිකයන් එක්සත් ජනපදයෙන් පිටුවහල් කරන්නේ ඇයි? ඇමරිකානු ජනතාවට ඇති ලොකු ම තර්ජනය ට්‍රම්ප් පරිපාලනය ... එහෙම නෙවෙයි ද?”
ඇමරිකානු ඩොලරයේ ගෝලීය ආධිපත්‍යය දුර්වල වීම පිලිබඳව ඇමරිකානු පාලක පන්තිය වඩ වඩාත් කනස්සල්ලට පත් ව සිටින බව ඇය පැවසුවා ය.
වෙනිසියුලාවේ වර්ධනයන් ගැන සඳහන් කරමින් ඇය මෙසේ සඳහන් කලා ය: “නිකොලස් මදුරෝ චීන මුදල් භාවිතා කරමින් තෙල් ගනුදෙනු කල බව මම කියවලා තියෙනවා. ඉරානයත් ඒ වගේ. මේ රටවල චීනයේ ආයෝජන වැඩි වෙලා, ඒ නිසා නිර්මානය වුනු ආතතීන් යුද්ධයක් දක්වා වර්ධනය වෙලා. චීනය සහ රුසියාව සෘජු ව ම මේ යුද්ධයට සම්බන්ධ වුනොත් න්‍යෂ්ටික අවි පවා භාවිතා කරන්න ඉඩ තියෙනවා.”
දශක ගනනාවක් තිස්සේ අත්‍යවශ්‍ය ඖෂධ සඳහා පවා ප්‍රවේශය සීමා කර ඇති ඉරානයට එරෙහි ව, දීර්ඝ කාලයක් තිස්සේ පවතින එක්සත් ජනපද සම්බාධක හෙලා දුටු ඇය, පසුගිය වසර දෙක තුල ගාසා තීරයේ සිදුකල සමූලඝාතන ද හෙලා දුටුවා ය.
යුද්ධය හෙලා දැකීමට හෝ අපොහොසත් ව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) අඛන්ඩ ව පවත්වා ගෙන යන ජවිපෙ/ජාජබ ආන්ඩුව, ගුරුවරියගේ විවේචනයට ලක්විය.
ලෙනින් ගැන සිහිපත් කරමින් ඇය කියා සිටියේ, කම්කරු පන්තිය අධිරාජ්‍යවාදය සහ ධනේශ්වර පාලක පන්ති පෙරලා දමන තුරු සැබෑ නිදහසක් ලබා ගත නොහැකි බවයි.
කොලඹ පිහිටි ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) පාරිභෝගික සම්බන්ධීකාරක කනිෂ්ක කරුනාරත්න, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කල ප්‍රහාර පිලිබඳව මෙසේ අදහස් දැක්වී ය:
“ඇමරිකාව පැත්තෙන් බලන කොට, මෙය ඒකපාර්ශ්වික යුද්ධයක් වගෙයි පෙනෙන්නේ. මම හිතන්නේ එය ඇමරිකාවේ ආර්ථික අර්බුදය විසින් මෙහෙයවනු ලැබෙන්නක්. ඇමරිකානු ආර්ථිකයේ බරපතල ගැටලු තියෙනවා.” ට්‍රම්ප් ක්‍රියාකරන්නේ, ඇඩොල්ෆ් හිට්ලර්ට සමාන ආකාරයකින් බව කී ඔහු : “පේන්න තියෙන විදියට ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ, බලවත් රාජ්‍යයන් විසින් අනෙකුත් රටවල් ඈඳා ගන්නා හිට්ලර්ගේ වැනි ආර්ථික ක්‍රමයක්. ඇමරිකාව වෙනිසියුලාව තුල මැදිහත් වුනා; දැන් එය ඒ රටේ වෙලඳ සබඳතා හසුරුවමින් ඉන්නවා,” යැයි සඳහන් කලේ ය.
මානව හිමිකම් ගැටලු ගසාකමින් මේ රටට මැදිහත් වීමට ඇමරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට කිසිදු අයිතියක් නොමැති බව ලංවිම සේවකයා සඳහන් කලේ ය. “ඉරානයේ ගැටලු තියෙනවා, නමුත් ඒවා අභ්‍යන්තර ගැටලු. සෑම රටකට ම එවැනි ගැටලු තියෙනවා. තමන් ම මැදිහත් වෙලා ඒ රටේ ආන්ඩුව වෙනස් කරගැනීම ඒ රටේ ජනතාවට භාරයි.,” බාහිර මැදිහත්වීම්වලට විරුද්ධ වෙමින් ඔහු පැවසී ය.
“යුද්ධය නැවැත්වීම බරපතල කාරනයක්,” කනිෂ්ක තවදුරටත් සඳහන් කලේ ය, “මොකද යුද්ධය කරන පුද්ගලයා-ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ- මානසිකත්වය පිලිබඳ ගැටලුවක් තිබෙනවා. ඔහු තීරන ගන්නේ කොහොමද කියලා සිතාගන්නත් බෑ.” ඔහු අවසානයේ දී සඳහන් කලේ, “ඇමරිකාවේ දැන් මතු වී ඇති විරෝධතා ව්‍යාපාර හරහා සැබෑ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනගා ගත හැකි” බව යි.
දෘශ්‍ය හා රංගන කලා විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ශිෂ්‍යාවක් වන සෙනුරි:
“මේක මුලුමනින් ම අනවශ්‍ය යුද්ධයක්. ඇමරිකාව ක්‍රියා කරන්නේ ඉතා ම අසාධාරන විදිහටයි. එයට අවශ්‍ය වෙලා තියෙන්නේ , තෙල් හා ගෑස් වගේ ඉරානයේ ඇති සම්පත් කොල්ලකෑමටයි. එයට එරෙහි ව තමන් ආරක්ෂා වී ගැනීමටත් ප්‍රතිප්‍රහාර එල්ල කරන්නත් ඉරානයට අයිතියක් තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් හිට්ලර් වගේ ඒකපාර්ශ්වික තීරන ගන්නා ඒකාධිපතියෙක්,” යැයි ඇය පැවසුවා ය.
සාකච්ඡාව අතරතුර, සෙනුරි ධනේශ්වර ක්රමයේ අතාර්කික බව ගැන සඳහන් කරමින් කීවේ, “මෙම ක්‍රමය තවදුරටත් පැවතිය යුතු නැති” බවයි.
කොලඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්:
“අපි යුද්ධයට විරුද්ධයි. මේක බරපතල අපරාධයක්. ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් සාමාන්‍ය ජනතාව සෑහෙන ගනනක් මරනයට පත්වෙලා තියෙනවා. අද ඇමරිකාව ඉටු කරන විනාශකාරී භූමිකාව ඒකෙන් පැහැදිලියි.”
“මේ අවුරුද්දේ මුල දී අපි දැක්කා වෙනිසියුලාවට එල්ල කල ප්‍රහාරය. ඔවුන් ඒ රටේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ පවා පැහැර ගෙන ගියා. ඒ රට ඉලක්ක කරගත්තට පස්සෙ, ඔවුන් දැන් ඉරානය යටත් කර ගැනීමට උත්සාහ කරනවා. ඔවුන් එතැනින් නතර වෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි. එක්සත් ජනපදයට, ග්‍රීන්ලන්තය සහ කැනඩාව පවා යටත් කරගැනීමට අවශ්‍ය බව ට්‍රම්ප් සඳහන් කරලා තියෙනවා.”
යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක වන එස්. භානුසා:
“යටත් කර ගැනීමේ අරමුනින්, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, ඉරානයට එරෙහි ව දියත් කරන මේ කුරිරු යුද්ධයට මම දැඩි ලෙස විරුද්ධ යි,” ඇය පැවසුවා ය.
උතුරු නැගෙනහිර බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ)ට එරෙහි ව වසර 26 ක් පුරා වාර්ගික යුද්ධය සහ දෙමල ජනතාව මුහුන දුන් විනාශය ඇය සිහිපත් කලා ය. “ප්‍රජාවක් ලෙස අපි දශක ගනනාවක් තිස්සේ අතිමහත් දුෂ්කරතාවලට සහ කෲරත්වයට මුහුන දුන්නා. ඒ අනුව, එක්සත් ජනපද-ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර සහ මිසයිල ප්‍රහාර හමුවේ ඉරාන ජනතාවගේ හැඟීම් අපට තේරුම් ගන්න පුලුවන්. එම ප්‍රහාරවලින් දරුවන් ඇතුලු සිය ගනනක් දැනට ම මරා දමා තිබෙනවා.”
මාධ්‍ය හරහා, විශේෂයෙන් යූ ටියුබ් වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා යුද්ධය පිලිබඳ ප්රවෘත්ති බලන බව ඇය පැවසුවාය. “මෙම යුද්ධය උත්සන්න වුවහොත්, තුන්වන ලෝක යුද්ධයක අනතුර වැඩි වෙනවා. ප්‍රධාන බලවතෙක් තමයි, මේ පොඩි රටකට එරෙහි ව යුද්ධ කරමින් ඉන්නෙ. එය නැවැත්විය යුතුයි” ඇය පැවසුවා ය.
උද්ඝෝෂනය අතරතුර හමු වූ සිසුන් සහ කම්කරුවන් ගනනාවක් ම යුද්ධයට තම විරෝධය පල කරමින් එය නැවැත්විය යුතු බව කියා සිටියහ. කෙසේ වෙතත්, ඔවුහු මෙවැනි ප්‍රශ්න නැගූහ: යුද්ධය නවත්වන්නේ කොහොමද? ජාත්‍යන්තර කම්කරු පන්තියට යුද්ධය නවත්වන්න පුලුවන්ද? සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනඟන්නේ කොහොමද?
ව්‍යාජ වාමාංශිකයින් සහ අනෙකුත් විවිධ රැඩිකල් කන්ඩායම් ප්‍රචාරය කරන පරිදි, කම්කරුවන්ට සහ අනෙකුත් පීඩිතයින්ට, අධිරාජ්‍යවාදයට ආයාචනා කිරීමෙන් යුද්ධය නැවැත්විය නොහැකි බව උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ.
අධිරාජ්‍යවාදී යුද්ධය නැවැත්විය හැක්කේ කෙසේ ද? කම්කරු පන්තියේ පලමු කාර්යය වන්නේ යුද්ධයේ ස්වභාවය තේරුම් ගැනීමයි. නූතන යුද්ධ, අහම්බයක හෝ ආන්ඩුවේ යම් ප්රතිපත්තියක ප්‍රතිඵලයක් නොවේ; ඒ වෙනුවට, ඒවා පැන නගින්නේ, ධනේශ්වර ක්රමයේ අර්බුදයෙන් සහ වෙලඳපොලවල්, සම්පත් සහ උපායමාර්ගික ආධිපත්‍යය සඳහා ප්‍රතිවාදී අධිරාජ්‍යවාදී බලවතුන්ගේ බලු පොරයෙනි.
විසිවන සියවසේ ඓතිහාසික අත්දැකීම් පෙන්නුම් කරන්නේ, යුද්ධය නැවැත්විය හැකිවන්නේ, කම්කරු පන්තියේ විප්ලවවාදී මැදිහත්වීමෙන් පමනක් බවයි. 1917 දී, බොල්ෂෙවිකයන්ගේ නායකත්වයෙන් යුත් රුසියානු කම්කරු පන්තිය, පලමු ලෝක යුද්ධයේ අධිරාජ්‍යවාදී සංහාරයට එරෙහි ව නැගී සිටිමින්, ධනවාදය සහ සාර්වාදී ඒකාධිපතිත්වය පෙරලා දමා, යුද්ධය අවසන් කිරීමට අධිරාජ්‍යවාදී බලවතුන්ට බල කරමින්, රුසියාව යුද්ධයෙන් ඉවත් කර ගත්තේ ය.
දෙවන ලෝක යුද්ධයට තුඩු දුන් කාල පරිච්ඡේදය තුල එවැනි විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට අසමත් වීම බැඳී තිබුනේ, ජාත්‍යන්තර සමාජවාදී විප්ලවය සඳහා අරගලයට වල කපමින් සිටි ස්ටැලින්වාදයේ පාවාදීම් සමඟ ය. එම පාවාදීම් සාර්ථක ව ජය ගැනීමට හැකි වූයේ නම්, 1917 දී රුසියානු කම්කරුවන්ට මඟ පෙන් වූ එම පන්ති පදනම මත සහ සමාජවාදී ඉදිරිදර්ශනය මත ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගන්වා දෙ වන ලෝක යුද සමයේ පැන නැගි විප්ලවවාදී අරගල සාර්ථක කර ගනිමින් දස ලක්ෂ ගනනක් ජීවිත බිලිගත් දෙවන ලෝක යුද්ධයේ ව්‍යසනය වලක්වා ගත හැකි ව තිබුනි.
අධිරාජ්‍යවාදී යුද්ධය නැවැත්වීමට හැකියාව ඇති එක ම විප්ලවවාදී බලවේගය කම්කරු පන්තියයි. සමාජ ධනයේ නිෂ්පාදකයින් ලෙස, වැඩ වර්ජන සහ මහජන ක්‍රියාමාර්ග හරහා යුද ආර්ථිකයන් කඩාකප්පල් කිරීමේ සාමූහික බලය කම්කරුවන් සතු ව ඇත. ජාත්‍යන්තර ව සහ දේශපාලනික ව ධනේශ්වර පක්ෂ සහ වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව එක්සත් වී, යුද ගැති ධනේශ්වර ක්‍රමය පෙරලා දමා සමාජවාදී පදනම් මත සමාජය ප්‍රතිසංවිධානය කිරීමට ඔවුන්ට හැකි ය.
තුන්වන ලෝක යුද්ධයක අනතුර වේගයෙන් තීව්ර වෙමින් පවතින අද, කම්කරු පන්තිය මුහුන දෙන්නේ එම ඓතිහාසික විකල්පයට ම ය: සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය. යුදවාදී පාලක ප්රභූන්ට, ඔවුන්ගේ ෆැසිස්ට්වාදී සහචරයින්ට සහ ධනේශ්වර ක්‍රමය තුල මිත්‍යාවන් ප්‍රවර්ධනය කරන ව්‍යාජ-වාම සහ සාමවාදී බලවේගයන්ට එරෙහි ව, කම්කරු පන්තිය යුද්ධයේ මූලාශ්‍රය වන ධනවාදය අහෝසි කිරීමේ සටන භාර ගත යුතු ය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අවධාරනය කරන පරිදි, සමාජවාදය සඳහා සටනකින් තොර ව යුද්ධයට එරෙහි ව සැබෑ අරගලයක් තිබිය නොහැකිවාක් මෙන් ම, අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ නොවන සමාජවාදී ව්‍යාපාරයක් ද තිබිය නොහැක.
වැඩිදුර කියවන්න
- ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය නැවැත්වීම වෙනුවෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැවැත් වූ හදිසි වෙබිනාර් රැස්වීම සමාජවාදී මූලෝපාය පැහැදිලි කරයි
- ඉරානයට එරෙහි සාපරාධී ආක්රමනික යුද්ධය නවත්වනු!
- ඉන්දියානු සාගරයේ දී ඉරාන නෞකාවක් ගිල්වා දැමීම හෙලා දකිනු! ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයට විරුද්ධ වනු!
- ඉරාන නාවිකයින් බේරා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ “මානුෂීය” මවාපෑම් එක්සත් ජනපද සංදේශයෙන් හෙලිදරව් කෙරේ
- සසප/සසජාතශි කොලඹ දී පවත්වන ප්‍රසිද්ධ රැස්වීම: ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය නවත්වනු!
