ලේඛක දීපචන්ද්‍රන් ප්‍රදීපන්ගේ කෘති රේගුවේ රඳවා ගැනීම: ජවිපෙ/ජාජබ ආන්ඩුව ප්‍රකාශනයේ නිදහසට එල්ල කල බලගතු ප්‍රහාරයක්

ශ්‍රී ලංකා රේගුව විසින්, සම්මානලාභී ලේඛක දීපචන්ද්‍රන් ප්‍රදීපන්ගේ පොත් අත්අඩංගුවට ගැනීම, “ජාතික සමගිය” ආරක්ෂා කිරීමේ වංචනික ධජය යටතේ සිදු කරන ලද, ප්‍රකාශනයේ නිදහසට එරෙහි ප්‍රතිගාමී ප්‍රහාරයකි.

සම්මානලාභී ලේඛක දීපචන්ද්‍රන් ප්‍රදීපන්

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව විසින් අධීක්ෂනය කරන ලද මෙම මෙහෙයුම, ධනවාදයේ ගැඹුරු වන ගෝලීය අර්බුදය මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ පාලක පන්තිය වැඩෙන සමාජ විරෝධයට මුහුන දෙනුවස් ආඥාදායකත්වයක් දෙසට යන වේගවත් ගමන අනාවරනය කරයි.

මාර්තු මස අවසානයේදී, ඉන්දියාවේ මුද්‍රනය කොට චෙන්නායි සිට නැව්ගත කිරීමෙන් පසු ප්‍රදීපන් විසින් ලියන ලද පොත් පහක පිටපත් 360 ක් රේගුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම පොත් අතරට නදුහල්, බයන්ගරවාදී (ත්‍රස්තවාදියා) සහ සයනයිඩ් යන නවකතා මෙන්ම ශ්‍රී ලංකාවේ දශක ගනනාවක් පුරා පැවති වාර්ගික යුද්ධයෙන් නිර්මිත සමාජ හා දේශපාලන අත්දැකීම් විවරනය කෙරෙන රචනා එකතුවක් සහ සම්මුඛ සාකච්ඡාවන් ගනනාවක් ඇතුලත් විය.

රේගු බලධාරීන් කියා සිටියේ අදාල කෘති “ජාතික ආරක්ෂාවට” සහ “ජාතික සමගියට” තර්ජනයක් වන බවයි, නමුත් මෙම චෝදනා සඳහා කිසිදු සාක්ෂියක් සපයා නැත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) අදහස් දක්වමින් ප්‍රදීපන් පැහැදිලි කලේ, සමාලෝචනය සඳහා තම කෘති රඳවා තබා ඇති බව රේගු නිලධාරීන් යාපනයේ සිටින තම නියෝජිතයාට දැනුම් දුන් බවයි. සති ගනනක ප්‍රමාදයකින් පසු, කෘති පහෙන් තුනක් පමනක් නිදහස් කරන බව සහ අනෙක් කෘති දෙක “ප්‍රජාවන් අතර සහජීවනයට” හානි කල හැකි බැවින් තවදුරටත් රඳවා ගන්නා බවයි.

ප්‍රදීපන්ට අනුව, රඳවාගෙන ඇති කෘති වලින් එකක් සිවිල් යුද්ධයෙන් සිදු වූ විනාශය විවරනය කරන අතර අනෙකෙහි යුද කාලීන අත්දැකීම් සම්බන්ධිත සම්මුඛ සාකච්ඡා අඩංගු වේ. ගම්‍යය පැහැදිලිය: වාර්ගික යුද්ධය සහ එහි ප්‍රතිවිපාක පිලිබඳව කෙරෙන කවර හෝ කලාත්මක හෝ දේශපාලනික පරීක්ෂනයකට ශ්‍රී ලංකාවේ ආන්ඩුව බිය වේ.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙම වාරනය හෙලා දකින අතර ප්‍රදීපන් ගේ සියලුම කෘති වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලා සිටී.

රාජ්‍ය මැදිහත්වීමකින් තොරව තම අදහස් ප්‍රකාශ කිරීමේ ලා ප්‍රදීපන් සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් සසප පෙනී සිටී. ඒ සමගම, දෙමල ජාතිකවාදය සමඟ ඔහුගේ දේශපාලන පෙලගැසීම සම්බන්ධයෙන් සසප කිසිදු සමාවක් ලබා නොදේ.

ප්‍රදීපන් තමාට එරෙහිව එල්ල කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහුගේ කෘතිය යුද්ධයෙන් විනාශයට පත් වූ දරුවන්ගේ, සිසුන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ අත්දැකීම් මත පදනම් වන බව පැහැදිලි කරයි. “දශක ගනනාවක ලේ වැගිරීම්වලින් පීඩාවට පත් සමාජයක බුද්ධිමය හා සංස්කෘතික අවබෝධය සඳහා දායක වීම” ඔහුගේ අරමුන බව ඔහු ප්‍රකාශ කර ඇත.

ඔහුගේ පොත් කිහිපයක් දැනටමත් සිංහල භාෂාවට පරිවර්තනය කර සිංහල කතා කරන පාඨකයින් විසින් කියවා ඇත. ධනපති පාලකයන් බිය වන්නේ වාර්ගික ගැටුම් පිලිබඳව නොව, සිංහල සහ දෙමල යන දෙවර්ගයේම කම්කරුවන්ට සහ තරුනයින්ට යුද්ධය සහ එය ඇති කල ධනේශ්වර ක්‍රමය පිලිබඳ අවංක පරීක්ෂනයකින් ප්‍රගතිශීලී දේශපාලන නිගමනවලට එලඹිය හැකි බවට ඇති හැකියාව පිලිබඳව යි.

තම ක්‍රියාවන් සාධාරනීකරනය කිරීමට නොහැකි වූ රේගු නිලධාරීන්, රඳවා තබා ගත් කෘති, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ “විශේෂ කමිටුවකට” මෙන්ම හමුදා බලධාරීන්ට, අවසාන තීරනයක් ගැනීමට පෙර යොමු කරන බව නිවේදනය කර ඇත.

සාහිත්‍ය කෘති සංසරනයට ඉඩ දිය යුතුද යන්න තීරනය කිරීමේදී හමුදාවේ මැදිහත්වීම, මෙහෙයුමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය ගැඹුරින්ම පෙන්නුම් කරයි. දශක ගනනාවක් තිස්සේ සිදු වූ කුරිරු මර්දනයන් සහ සමූහ ඝාතන සඳහා වගකිව යුතු එම හමුදා සංස්ථාපිතයටම දැන් කලාත්මක හා බුද්ධිමය ජීවිතය කෙරෙහි බලය පවරනු ලැබේ.

ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත්වූයේ, අපකීර්තිමත් සාම්ප්‍රදායික ධනේහ්වර පක්ෂවලට ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් නියෝජනය කරන බව පවසමිනි. කෙසේ වෙතත්, මාස කිහිපයක් ඇතුලත, එය එම ධනේශ්වර රාජ්‍ය උපකරනය ආරක්ෂා කරන බවත්, එහි පූර්වගාමීන් මෙන් එකම වර්ගවාදී සහ අධිකාරීවාදී ක්‍රම මත විශ්වාසය තබන බවත් පෙන්නුම් කර ඇත.

මෙය හුදකලා සිද්ධියක් නොවේ. රනිල් වික්‍රමසිංහගේ පෙර ආන්ඩුව යටතේ, කුරානයේ දෙමල භාෂා පරිවර්තනයක් සමාන හේතු මත රඳවා තබා ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව විසම්මුතිය මර්දනය කිරීමට සහ සුලු ජාතීන් බිය ගැන්වීමට “ජාතික ආරක්ෂාව” සහ “සමාජ සමගිය” පිලිබඳ චෝදනා නැවත නැවතත් භාවිතා කර ඇත.

ප්‍රදීපන්ට එරෙහි ප්‍රහාරය සිදුවන්නේ ගැඹුරු වන ආර්ථික අර්බුදය සහ වැඩෙන සමාජ කෝපය මධ්‍යයේ ය. බදු වැඩි කිරීම්, වියදම් කප්පාදු කිරීම් සහ පුද්ගලීකරනය හරහා කම්කරුවන්ට සහ දුප්පතුන්ට විනාශකාරී ප්‍රහාර පටවමින් දිසානායක ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු නියෝග ක්‍රියාත්මක කරමින් සිටී.

මෙම ප්‍රතිපත්ති කම්කරුවන්ගේ සහ තරුනයින්ගේ පුපුරන සුලු විරෝධයක් ඇති කරන බව ආන්ඩුව ඇතුලු පාලක පන්තිය හොඳින් දනී. මෙම තත්වයන් යටතේ, නැවත වරක් කම්කරු පන්තිය වාර්ගික හා ආගමික රේඛා ඔස්සේ බෙදීම සඳහා ඔවුහු අර අඳිති.

1948 ඊනියා නිදහස ලැබීමෙන් පසු, අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩු සමාජ ආතතීන් වෙනතකට හැරවීමට සහ ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීම සඳහා දෙමල විරෝධී ස්වෝත්තමවාදය වගා කර ඇත. මෙය 1983 දී පුපුරා ගිය සහ දශක තුනකට ආසන්න කාලයක් පැවති වාර්ගික යුද්ධයෙන් කුලු ගැන්වුනි. ගැටුමෙන් 100,000 කට වැඩි පිරිසක් මිය ගියහ. 2009 යුද්ධයේ අවසාන මාසවලදී, හමුදාව විසින් දස දහස් ගනනක් දෙමල සිවිල් වැසියන් සමූලඝාතනය කරන ලදී.

මෙම ඉතිහාසය, ධනේශ්වර පාලනයේ ඓතිහාසික බංකොලොත්භාවය හෙලිදරව් කරන අතර ලාභ පද්ධතියට එරෙහි පොදු අරගලයක් තුල සිංහල සහ දෙමල කම්කරුවන්ගේ එක්සත්කමේ අවශ්‍යතාවය අවධාරනය කරයි. මෙම ඉතිහාසය පිලිබඳ ඕනෑම පරීක්ෂනයකට ශ්‍රී ලංකානේ ධනේශ්වරය බිය වන්නේ එබැවිනි.

ප්‍රදීපන්ගේ කෘති රඳවා තබා ගැනීම ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමක් ලෙස ශ්‍රී ලංකාවේ සිවිල් අයිතිවාසිකම් සංවිධාන කිහිපයක් සහ මානව හිමිකම් කොමිසම විවේචනය කර ඇත. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද මෙම අත්අඩංගුවට ගැනීම හෙලා දුටු අතර සාහිත්‍යය ජාතික ආරක්ෂාවට තර්ජනයක් දැයි තීරනය කිරීමට රේගු නිලධාරීන්ට ඇති අධිකාරිය ප්‍රශ්න කලේය.

කෙසේ නමුත්, ධනපති මාධ්‍යයේ සමහර කොටස් ජවිපෙ/ජාජබ ආන්ඩුව දේශපාලනිකව ආරක්ෂා කර ඇත. ඩේලි මිරර් පුවත්පතේ කතුවැකියකින් තර්ක කලේ, මෙම කෘති ජනවාර්ගික සමගියට සෘජුවම තර්ජනයක් නොවුනත්, ඒවාට වක්‍රව ආතතීන් ඇති කල හැකි බැවින් වාරනය සාධාරනීකරනය කල හැකි බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල වන ප්‍රහාර සාධාරනීකරනය කිරීම සඳහා ජාත්‍යන්තරව ධනේශ්වර ආන්ඩු විසින් එවැනි තර්ක දිගු කලක් තිස්සේ භාවිතා කර ඇත. වැඩිවන භූ දේශපාලනික ආතතීන්, යුද්ධය සහ ආර්ථික අර්බුදයේ තත්වයන් යටතේ, පාලක ප්‍රභූන් වැඩි වැඩියෙන් වාරනය සහ මර්දනයට යොමු වෙති.

ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් “ජාතික සමගිය” ඉල්ලා සිටීම අතිශයින්ම කුහක ය. දෙමල ලේඛකයින්ගේ කෘති වාරනයට ලක් කරන එය, සිංහල ස්වෝත්තමවාදී සහ මිලිටරිවාදී ප්‍රචාර වලට නිදහසේ සංසරනය වීමට ඉඩහැර ඇත.

2024 සහ 2025 යන අවුරුදු දෙකේදීම කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී, හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන කුටිවල වාර්ගික යුද්ධය උත්කර්ෂයට නංවන සහ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී දෘෂ්ටිවාදය ප්‍රවර්ධනය කරන කෘති විවෘතව ප්‍රදර්ශනය කරන ලදී. පෙර ආන්ඩුව හෝ වත්මන් පරිපාලනය එයට කිසිදු විරෝධයක් මතු කලේ නැත.

මෙය වාරන ව්‍යාපාරයේ සැබෑ අරමුන හෙලිදරව් කරයි. ඉලක්කය වන්නේ කොලඹ ධනපති පාලකයන්ගේ සිංහල ස්වෝත්තමවාදී නිල ආඛ්‍යානයට අභියෝග කරන කලාත්මක හා දේශපාලනික ප්‍රකාශනයයි.

ප්‍රදීපන්ට එල්ල කරන ප්‍රහාරය පුලුල් කලාපීය සහ ජාත්‍යන්තර ප්‍රවනතාවයක කොටසකි. දකුනු ආසියාව පුරා, ආන්ඩු විසම්මුතිය මැඩපැවැත්වීම සඳහා “ජාතික ආරක්ෂාව”, “ආගමික සමගිය” සහ “මහජන සාමය” වැඩි වැඩියෙන් ඉල්ලා සිටී.

ඉන්දියාවේ, හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව, ආගමික හැඟීම් වලට පහරදෙන බවට චෝදනා කරමින්, කලාකරුවන්ට සහ බුද්ධිමතුන්ට එරෙහි වාරනය සහ ප්‍රහාර දිරිමත් කර ඇත. පකිස්ථානයේ සහ බංග්ලාදේශයේ, මාධ්‍යවේදීන් සහ ලේඛකයින් “රාජ්‍ය විරෝධී ප්‍රචාරයන්” පතුරුවා හැරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම් සහ බිය ගැන්වීම්වලට මුහුන දෙයි.

මෙම ප්‍රහාර ධනවාදයේ ගැඹුරු වන ගෝලීය අර්බුදයෙන් සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ වර්ධනයෙන් වෙන් කල නොහැකි ය. යුද්ධය, අසමානතාවය සහ ආර්ථික බිඳවැටීම මගින් ඇති කරන සමාජ නැගිටීම් සඳහා සූදානම් වන සෑම රටකම ආන්ඩු ඒකාධිපති පාලන ක්‍රම ශක්තිමත් කරමින් සිටී.

රාජ්‍යයට අභියෝග කරන සහ පාලක ප්‍රභූවේ අපරාධ හෙලිදරව් කරන මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය සේවකයින්ට එරෙහිව ශ්‍රී ලංකාවම නැවත නැවතත් ප්‍රහාර එල්ල කර තිබේ. මෑතකදී, සිලෝන් ටුඩේ හි නියෝජ්‍ය කර්තෘ සුලෝචනා රාමයියා මොහාන්, රටේ පවතින බලශක්ති අර්බුදය පිලිබඳව වාර්තා කිරීමෙන් පසු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) හි හිරිහැර හා බිය ගැන්වීම්වලට මුහුන දුන්නාය.

තවද, බුදුන්ගේ රස්තියාදුව ලිවීම සහ ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් පිලිවෙලින් කේ. කේ. ශ්‍රීනාත් සහ උපුල් ශාන්ත සන්නස්ගල යන අයට එරෙහිව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනත යටතේ ගොනු කර ඇති නඩුවක් ශ්‍රී ලංකාවේ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ විභාග කෙරේ.

ටැමිල් ගාර්ඩියන් වාර්තාවකට අනුව, 2024 අප්‍රේල් මාසයේදී, එන්. යෝගේන්ද්‍රන් විසින් රචිත, ද රිවර් ඔෆ් ෆයර් කෘතිය එලිදැක්වීමේ රැස්වීමක මුලසුන දැරීම සම්බන්ධයෙන්, ප්‍රදීපන්මත්, පැය තුනක කාලයක් පුරා ප්‍රශ්න කිරීමට කිලිනොච්චියේ පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය (ටීඅයිඩී) කටයුතු කලේය. දෙමල ජාතික කලා හා සාහිත්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස ප්‍රදීපන් එම උත්සවයේ මුලසුන දැරීය. යෝගේන්ද්‍රන්ගේ කෘතිය, දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය පුනරුත්ථාපනය කිරීම සඳහා ලියන ලද්දක් බවට ටීඅයිඩී චෝදනා කලේය.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඉලක්ක කර ගැනීම හෙලා දකිමින්, ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ), එවැනි ක්‍රියා “මාධ්‍ය සේවකයින්ට එරෙහිව බිය ගැන්වීම් භයානක ලෙස ඉහල යාමක්” නියෝජනය කරන බවට අනතුරු ඇඟවූ අතර “මාධ්‍යවේදීන්ට නිදහසේ සහ හිරිහැර හෝ පලිගැනීම්වලට බියෙන් තොරව වැඩ කල හැකි බව සහතික කරන ලෙස” බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ ප්‍රදීපන්ට එල්ල වූ ප්‍රහාරය හුදකලා ක්‍රියාවක් නොවන බවත්, පාලක පන්තියේ නිල ආඛ්‍යානයට අභියෝග කරන ලේඛකයින්, මාධ්‍යවේදීන් සහ බුද්ධිමතුන් බිය ගැන්වීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍යය විසින් ගෙන යන පුලුල් ව්‍යාපාරයක කොටසක් බවත්‍ ය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම ධනේශ්වර ආන්ඩු හෝ ධනේශ්වර විරුද්ධ පක්ෂවලට භාර දිය නොහැක. වාරනය සහ වර්ගවාදයට එරෙහි අරගලයට සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක පදනම මත කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලන බලමුලු ගැන්වීම අවශ්‍ය වේ.

සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන්නේ සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් සියලු ආකාරයේ වාර්ගික දේශපාලනයට එරෙහිව එක්සත් විය යුතු බවත් ලේඛකයින්ගේ, කලාකරුවන්ගේ සහ බුද්ධිමතුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කල යුතු බවත්‍ ය.

ප්‍රදීපන්ගේ පොත් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා කරන සටන, කප්පාදු, රාජ්‍ය මර්දනය සහ ඒකාධිපතිත්වය, යුද්ධය සහ වාර්ගික බෙදීම් ඇති කරන ධනේශ්වර ක්‍රමයටම එරෙහි පුලුල් අරගලයක කොටසක් බවට පත්විය යුතුය.
***

මෙහි පහත පලවන්නේ, දීපචන්ද්‍රන් ප්‍රදීපන්ගේ කෘති වාරනය කිරීමට එරෙහිව සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය ලෝක සමාජවාදී වෙබ් අඩවියට එවන ලද ප්‍රකාශයකි.

චිත්‍රපට අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය

ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වන්නේ එය රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් මර්දනයයෙන් තොරව බහුවිධ අදහස් සමාජගත කිරීම සහතික කරන බැවිනි. එය නොබියව මිනිසුන්ට කතා කිරීමට ඉඩ දීම පමනක් නොව පුරවැසියන් අතර විශ්වාසය ගොඩනංවා සමාජයේ සාමූහික ප්‍රගතිය ඇති කරයි. නමුත් වාරන හා මර්දන යාන්ත්‍රනය දියත් කරමින් විවිධ රචකයන්ගේ හා නිර්මානකරුවන්ගේ කෘති මෙන්ම ප්‍රකාශන තහනමට හා වාරනයට ලක්කල දිගූ ඉතිහාසයක් ලාංකේය පරිසරයේ පවතී.

එම සියලු වාරන මර්දන යාන්ත්‍රන දියත් කල ආන්ඩු සියල්ල ප්‍රගතිශීලි මෙන්ම නිර්භයව අදහස් ප්‍රකාශ කරන ප්‍රජාව පිලිකුල් සහගතව විවේචනය කරමින් ප්‍රතික්ෂේප කරන ලදී. පසුගිය කාලය තුල අන්තර්ජාතික පුරවැසි හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය (ICCPR) පනතට මුවා වෙමින් නිර්මානකරුවන් සහ ලේඛකයන් දැඩි මර්දනයකට ලක් කර සිරගත කල ඉතිහාසයක් ඇත. මෙම මර්දනයේ සහ වාරනයේ යාන්ත්‍රනයේම දිගුවක් ලෙසට දෙමල කවියෙකු සහ නවකතාකරුවෙකු වන ප්‍රදීපන් දීපචෙල්වන් කෘති ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන නිදහස් නොකිරීම දැක්විය හැකිය.

විවිධ ශාස්ත්‍රීය බුද්ධිමතුන් මෙන්ම ලේඛකයෙන් හා නිර්මානකරුවන් ස්වකීය ආස්ථානයන්හි සිටිමින් ප්‍රකාශන හා නිර්මාන එලි දක්වන අතර ඒවායේ ඇති දෘෂ්ටිවාදයන්ට විවේචන ඉදිරිපත් කිරීමේ අවකාශ පවතී. නමුත් ඒවා සමාජගත වීම අහුරා දමමින් වාරනය හා මර්දන යාන්ත්‍රන ක්‍රියාත්මක කර ප්‍රකාශනයේ නිදහස අහිමි කරලීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට හෝ සමාජයකට සුදුසු කාර්යභාරයක් නොවේ.

වර්තමාන ආන්ඩුව මෙම කෘති කිහිපයක් නිදහස් කර අනෙකුත් කෘති ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් නිදහස් කල නොහැකි බව පවසයි. කෘතියක ප්‍රකාශිත අදහසක් තුලින් රාජ්‍යයකට හෝ එහි ආරක්ෂාවට කිසිදු බලපෑමක් කල නොහැකි වන අතර එය පුහු තර්කනයකි. අතීතයේ තිබූ වර්ගවාදී ජාතිවාදී ආගම්වාදී ආන්ඩු විසින් ප්‍රකාශිත මතවාදයේම දිගුවකි. මෙම කෘති සියල්ලම කොන්දේසි විරහිතව මර්දනය යාන්ත්‍රනය අහෝසි කොට නිදහස් කර ප්‍රකාශන නිදහස ස්ථාපිත කල යුතු අතර එකී කෘතිවල අදහස් සමග ප්‍රතිවිරෝධතා ඇත්නම් ඒ සඳහා විවේචන අවකාශ හිමිකර දිය යුතුය.

මාලක දේවප්‍රිය

Loading