සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), ජුනි 3 වන දින, “ප්‍රති සංස්කෘතියක ඇරඹුම: කැලනිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය ප්රතිගාමී අනන්‍යතා දේශපාලනය ප්‍රවර්ධනය කරයි” නමැති කෘතිය පිලිබඳව මාර්ගගත සාකච්ඡාවක් පැවැත්වීය. මෙම කෘතිය, සසජාතශිට නායකත්වය දෙන සමාජවාදී සමානතා පක්ෂයට (සසප) අයත් “කම්කරු මාවත” ප්රකාශනයකි.
කැලනිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය, වසර ගනනාවක් පුරා නවක සිසුන් අතර බෙදා හල සහ බලහත්කාරයෙන් ඔවුනට වනපොත් කර වූ “ප්‍රති සංස්කෘතියක ඇරඹුම” පොතෙන්, පන්ති දේශපාලනයට එරෙහිව “ශිෂ්‍ය දේශපාලනය” නමැති අනන්‍යතා දේශපාලනය ප්‍රවර්ධනය කරන අයුරු අනාවරනය කරන කම්කරු මාවත ප්රකාශනය, නිදහස් අධ්‍යාපනයට එල්ල කෙරෙන අඛන්ඩ ප්‍රහාරය ඇතුලු සමාජය මුහුන දෙන වැඩෙන අර්බුදවලට පිලිතුරු සොයන සිසුන්, කම්කරු පන්තිය සහ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය වෙත හැරිය යුත්තේ මන්දැයි පැහැදිලි කරයි.
“ප්‍රති සංස්කෘතියක ඇරඹුම” පොතේ දේශපාලනික සහ දෘෂ්ටිවාදාත්මක අන්තර්ගතය මාක්ස්වාදී දෘෂ්ටි ආස්ථානයෙන් විමර්ශනය කෙරුනු මෙම සාකච්ඡාවේ මුලසුන දැරුවේ සසජාතශි ජාතික කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු වන අතර, සසජාතශි ප්‍රධාන සාමාජිකයෙකු වන සකුන්ත හිරිමුතුගොඩ ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කලේය.
ප්‍රනාන්දු, රැස්වීම ආරම්භ කරමින්, සසජාතශි හි විවේචනය සමිබන්ධයෙන් කැලනිය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ මගහැරීමේ ප්‍රතිචාරය කෙරෙහි අවධානය යොමු කලේය.
“ප්‍රති සංස්කෘතියක ඇරඹුම පොත 2025/26 අධ්‍යයන වර්ෂවලදී බෙදා හැර නොමැති බව අපට දැනගන්නට ලැබුනා. කෙසේ වෙතත්, සෑම විශ්ව විද්‍යාලයකම පාහේ අවිශිබ ක්‍රියාකාරීන් එහි අඩංගු අදහස් නවක සිසුන් අතර ප්‍රචාරය කරන තත්වයන් යටතේ, අපගේ සාකච්ඡාව අදට සම්පූර්නයෙන්ම අදාල වෙනවා.”
එම පොත “තවදුරටත් බෙදා හරිනු නොලැබේ” යැයි කැලනිය වි.වි. ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කලද, එය කිසි විටෙකත් ප්‍රසිද්ධියේ විවේචනය කර හෝ ප්රකාශනයේ අන්තර්ගත දේශපාලන දෘෂ්ටියෙන් ඈත් වී නොමැති බව ප්‍රනාන්දු සඳහන් කලේය.
සසජාතශි සාකච්ඡාව ගැන උනන්දුවක් දැක්වූ සිසුන් සහ ඒ පිලිබඳ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගත් අය බිය ගැන්වීමට ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් දැරූ උත්සාහයන් ද ඔහු පැහැදිලි කලේ ය. සාකච්ඡාවට පෙර, සසප ෆේස්බුක් පිටුවේ පල කරන ලද ප්‍රවර්ධන වීඩියෝවකට ප්‍රතිචාර වශයෙන්, ශිෂ්‍ය සංගමයට සම්බන්ධ ක්‍රියාකාරීන් සසජාතශි සහ සසප ආධාරකරුවන්ට එරෙහි ව මරන තර්ජන පවා එල්ල කලහ.
“මෙම ක්‍රියාවන් පෙන්නුම් කරන්නේ තමන් ‘ස්වාධීන’ බව කියා සිටියද, බිය ගැන්වීම් සහ දේශපාලන මැර ක්‍රියා හරහා පොතේ ප්රතිගාමී දෘෂ්ටිවාදය ආරක්ෂා කිරීම ශිෂ්‍ය සංගමය දිගටම කරගෙන යන බවයි.”
සාකච්ඡාව පුලුල් දේශපාලන සන්දර්භයක් තුල තබමින්, සසජාතශි හි දෘෂ්ටිවාදාත්මක අරගලය සිසුන් සහ තරුනයින් කම්කරු පන්තියට දිනා ගැනීම සහ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කිරීම අරමුනු කරගත් එකක් බව ප්‍රනාන්දු අවධාරනය කලේ ය. ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව අධිරාජ්‍යවාදයේ උත්සන්න වන යුද ධාවනය සමඟ පෙලගැසෙන අතර ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කප්පාදු පියවර පනවන බැවින් මෙම කාර්යය වඩ වඩාත් හදිසි වී තිබේ.
ඉන්පසු ඔහු හිරිමුතුගොඩට ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කරන ලෙස ආරාධනා කලේ ය.
හිරිමුතුගොඩ තම වාර්තාව ආරම්භ කලේ, සිසුන් මුහුන දෙන ගැටලු ගෝලීය ධනවාදයේ ගැඹුරු වන අර්බුදයෙන් පැන නගින බව අවධාරනය කරමිනි.
“ඉරාන යුද්ධයෙන් ගැඹුරු කරපු ලෝක ආර්ථික අර්බුදයේ බර අයිඑම්එෆ් කප්පාදු නියෝගවල රූපයෙන් ආන්ඩුව මහජනතාව මත පටවමින් ඉන්නවා. අධ්‍යාපනය සහ සෞඛ්‍ය කප්පාදුව මෙහි මූලික ඉලක්ක.”
අධ්‍යාපනයේ අර්බුදය යල් පැන ගිය ධනේශ්වර සමාජ පද්ධතියෙන් මතු වන බව වසන් කරන අවිශිබම, ධනවාදයට එරෙහි අරගලයකට සිසුන් යොමු කිරීම වලකමින්, ධනේශ්වර ආන්ඩු මත පීඩනය යෙදීමෙන් ඉල්ලීම් දිනා ගත හැකි ය යන මිත්‍යාව පතුරවමින් ඔවුන් ධනපති ක්‍රමය තුල ම කොටුකර තබන බව හිරිමුතුගොඩ පෙන්වා දුන්නේ ය.
“දැන් අවිශිබමයන් දෙකක් තියෙනවා. එකක් පෙසපත් අනික ආන්ඩු බලය යොදා ගනිමින් නැවත ජවිපෙ විසිනුත් සංවිධානය කර ගත් එකක්. නමුත් මේ දෙක ම මේ ආකාරයට ශිෂ්‍යන් මුහුන දෙන ප්‍රශ්නවලින් මිදී ගැනීමට කරන ශක්‍ය අරගලයකින් පීලි පන්නනවා. මේ නිසා ශිෂ්‍යයන් ජාත්‍යන්තර සමාජවාදය වෙත දිනා ගැනීමට මේ දෘෂ්ටිවාදාත්මක පදනම් හෙලි කරන්න අවශ්‍යයයි.”
ඉන්පසු හිරිමුතුගොඩ, ශිෂ්‍ය සංගම් පොතේ ඉදිරිපත් කර ඇති කේන්ද්‍රීය සංකල්පය වෙත යොමු විය.
“විශ්වවිද්‍යාල තුල සාමූහිකත්වය සහ පරාර්ථකාමීත්වය මත පදනම් වූ උපසංස්කෘතියක් පවතින බවත්, එම උපසංස්කෘතිය ආත්මාර්ථකාමීත්වය මත පදනම් වූ අයිතීන් උදෙසා සටන් නොකර අනුගතව සිටින මහසමාජයට එරෙහි ප්රතිසංස්කෘතියක් බවට පත් වන බවත් ශිෂ්‍ය සංගමය පවසනවා.”
මෙ ලෙස සමාජය විවිධ අනන්‍යතාවන් ඔස්සේ බෙදා විග්රහ කිරීමෙන්, නිෂ්පාදන සබඳතා මත සමාජය පන්තිවලට බෙදීමේ විද්‍යාත්මක ප්‍රවේශය මකා දමන බව ඔහු පෙන්වා දුන්නේ ය. “ධනපති ක්‍රමය තුල ධනපති පන්තිය සහ කම්කරු පන්තිය වශයෙන් මූලික සමාජ පන්ති දෙකක් සිටිනවා. ඊට අමතර ව අතරමැදි පන්තීන් ද සිටිනවා. මේ පන්ති භේදයන් නොතකන ඔවුන්, මහා සමාජය පොදු අවශ්‍යතා නියෝජනය නොකරන, නව ලිබරල්වාදී ප්‍රතිපත්ති පිලිගන්නා, පෞද්ගලීකරනයට පක්ෂ, වර්ගවාදී එක් තනි ප්රතිගාමී ගොඩකට දානවා.”
පොදු සමාජය සම්බන්ධයෙන් සිදු කරන මෙම ව්‍යාජ සාමාන්‍යකරනය හරහා සත්‍යට හාත්පසින් ම ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතිගාමීත්වයක් කම්කරු පන්තියට ආරෝපනය කරන්නේ කම්කරු පන්තියේ සැබෑ විප්ලවවාදී ස්වභාවය වසන් කර සිසුන් කම්කරු පන්තියට එරෙහි ව පිහිටු වීමටයි. ඒ අනුව සමාජයේ පවත්නා එක ම ප්රගතිශීලි බලවේගය ශිෂ්‍යයන් බව තහවුරු කිරීමට ඔවුහු උත්සාහ කරති.
හිරිමුතුගොඩ මෙම සංකල්පයට සෘජු ව ම අභියෝග කලේය:
“ඊනියා නිදහසේ සිට අනුප්‍රාප්තික ආන්ඩුවල සමාජ සහ ප්රජාතන්ත්ර අයිතීන්ට එරෙහි ප්‍රහාරවලට එරෙහි ව කම්කරු පන්තියේ සටන් නොපැවතුනු එකදු වසරක්වත් නෑ. 2022 මහජන අරගලයේ දී මිලියන ගනනින් ජනතාව පාරට බැස්සේ පොදු අරමුනුවලින් මෙහෙය වී ගෙන නොවේ ද!”
“ප්‍රති-සංස්කෘතිය” සංකල්පයේ දාර්ශනික මූලයන් පවතින්නේ, වෛෂයික සත්‍යය, විද්‍යාව සහ මානව වර්ගයාගේ බුද්ධිමය ජයග්රහන ප්‍රතික්ෂේප කරන පශ්චාත් නූතනවාදී න්‍යායන් තුල බව හිරිමුතුගොඩ පෙන්වා දුන්නේය.
සමාජ සම්බන්ධතා පරිවර්තනය කිරීමෙන් නොව සදාචාරාත්මක උපදෙස් තුලින් සමාජය වැඩිදියුනු කල හැකි බව යෝජනා කරන විඥානවාදී දෘෂ්ටියක් පොත ඉදිරිපත් කරන බව හිරිමුතුගොඩ පැහැදිලි කලේය. මෙම දෘෂ්ටියෙන් ගම්‍ය වන්නේ, පෙලපාලි, වාඩිලා ගැනීම් සහ සංකේතාත්මක විරෝධතා සංවිධානය කිරීමෙන් සිසුන්ට ධනේශ්වර පාලක පන්තිය වඩාත් ප්රබුද්ධ හා මානුෂීය වීමට ඒත්තු ගැන්විය හැකි බවයි.
“මෙය ආගමික දේශනාවකට වඩා වෙනස් නොවේ,” යැයි ඔහු සඳහන් කලේ ය.
පොතේ එක් ඡේදයක ධනපති රාජ්‍යය විස්තර කරන්නේ, “මිනිසුන්ගේ සාමූහික උත්සාහයන් තුලින් ගොඩනගා ඇති මානව සංවිධානයේ ඉහලම ස්වරූපය” ලෙසයි. මෙම ඉදිරිදර්ශනයට ප්‍රතිවිරුද්ධ ව, ඔහු රාජ්‍යය පිලිබඳ මාක්ස්වාදී අවබෝධය ගෙනහැර දැක්වීය. එංගල්ස් සහ ලෙනින් මත පදනම් ව, රාජ්‍යය මධ්‍යස්ථ ආයතනයක් නොවන බවත්, පාලක පන්තිය විසින් පාලිත පන්තිය මර්දනය කරන මෙවලමක් බවත් ඔහු පැහැදිලි කලේය.
“සමාජවාදී විප්ලවයේ ඉලක්කය, ධනේශ්වර රාජ්‍යය පරිපූර්න කිරීම නොව, එය පෙරලා දමා ලෝක සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරු බලය ස්ථාපිත කිරීමයි.” පන්ති රහිත සමාජයක දී මෙම මර්දනයේ උපකරනයට පැවතීමක් නැත. එනිසා රාජ්‍යය “උසස්ම මානව ජයග්‍රහනය” නොව, මානව සමාජයේ ඓතිහාසික වර්ධනය තුල තාවකාලික සංවිධානයක් පමනි.
ශිෂ්‍ය දේශපාලනයේ දැවැන්ත ජයග්රහන ලෙස අවිශිබම හුවා දක්වන දෑට පිටුපසින් දශක ගනනාවක් තුල අධ්‍යාපනය මුහුන දී තිබෙන සැබෑ පරිහානිය එම දේශපාලන ක්‍රියාමාර්ගයේ බංකොලොත්බව පෙන්නුම් කරන බව පෙන්වා දුන් හිරිමුතුගොඩ අධ්‍යාපන අයිතිය රැක ගත හැක්කේ කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය යටතේ ලෝක සමාජවාදී විප්ලවය සඳහා කරන සටනේ අතුරුඵලයක් ලෙස පමනක් බව පෙන්වා දෙමින් තම වාර්තාව අවසන් කලේ ය.
අනතුරුව, අවිශිබමයේ ආධාරකරුවෙකු වන තිමිර ජනුක නමැත්තෙකු විසින් මතු කරන ලද අදහසක් වෙත සාකච්ඡාව යොමු විය.
ජනුක මෙසේ තර්ක කලේය:
“මහජන අරගලය තුල අපි ‘ආන්ඩුව පන්නමු-ක්‍රමය පෙරලමු’ යන සටන් පාඨය ඉදිරිපත් කලේ. නමුත් නිතර ම විප්ලවය විප්ලවය කියල තේරුමක් නෑ. ප්රතිසංස්කරන සටන් නැතුව විප්ලවය ගැන කතා කරන්න බෑ. නමුත් ප්රතිසංස්කරනවාදයට වැටෙන එක වැරදියි. සයිටම් අරගලය තුල අපි හැදුවේ උසස් අධ්‍යාපනය ගැන එකමුතුව හදන්න. අන්තරය කියන්නේ බහුජන සංවිධානයක්.”
“ඊනියා ශිෂ්‍ය බලය, නැති නම් එකමුතුව ගොඩනැගීම යනුවෙන් ඉතිහාසය පුරා අවිශිබම සිදු කර ඇත්තේ, ධනපති විපක්ෂ කන්ඩායම් සමග සන්ධානගත වෙමින් ඒවා තුල සිසුන් සිරකොට කම්කරු පන්තියේ ස්වාධීන අරගලයකින් ඔවුන් ඈත් කර තැබීම” බව, එයට පිලිතුරු දෙමින් හිරිමුතුගොඩ පෙන්වා දුන්නේ ය.
“සයිටම් අරගලය තුල ඔවුන් මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය සමග පෙල ගැසුනා. මහජන අරගලයෙන් අනතුරුව එවකට අවිශිබම කැඳවුම්කරු අත්තඩංගුවට ගත් පසු ඔවුන් යොමු වුනේ කම්කරු පන්තිය දෙසට නොවෙයි. ප්රජාතන්ත්ර විරෝධී ප්‍රහාර සම්බන්ධයෙන් වාර්තාවක් තියෙන සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ බිඳී ගිය විවිධ කන්ඩායම්වලටයි; තානාපති කාර්යාලවලටයි.”
“ක්‍රමය පෙරලමු” යන සටන් පාඨය විප්ලවවාදී ඉදිරිදර්ශනයක් නියෝජනය කරන බවට කරන ප්‍රකාශයට ද ඔහු අභියෝග කලේය.
“ඔවුන් ක්‍රමය පෙරලා දැමීම ගැන කතා කල නමුත් කිසි විටෙකත් ධනවාදය පෙරලා දැමීමට ඉල්ලා සිටියේ නෑ. විප්ලවයට මාවත වැටිලා තියෙන්නේ ප්රතිසංස්කරන හරහාය කියන ප්රතිමාක්ස්වාදී අදහස අවිශිබම දේශපාලන ගුරන් වන පෙසප දෙන ලනුවක්.”
පෙසප දිගුකාලීන සහ කෙටිකාලීන වශයෙන් ක්‍රියාමර්ග දෙකක් ඉදිරිපත් කරයි. දිගුකාලීන ක්‍රියාමාර්ගය වන්නේ, ඈත අනාගතයේ අනියත දිනක සමාජවාදය සඳහා කරන සටන වන අතර, කෙටිකාලීන ක්‍රියාමාර්ගය වන්නේ ප්රතිසංස්කරන සඳහා සටනයි. “මේ අනුව මහජන අරගලය තුල මොවුන් කලේ ක්‍රම පෙරැලියක් නොවේ, වෘත්තීය සමිතිත් එකතු කර ගෙන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත් වීමක් වලකමින් අන්තර්වාර ආන්ඩුවක් සඳහා මහජනතාවගේ පිලිකුලට ලක් වූ විපක්ෂයේ සහ ශ්‍රීලපොපෙ පතුරු සමග සාකච්ඡා පැවැත්වීමයි.”
ඔහු තවත් හෙලිදරව්කාරී කරුනක් කෙරෙහි අවධානය යොමු කලේය:
“‘ප්‍රතිසංස්කෘතියක ඇරඹුම’ පොතේ කොතැනකවත් සමාජවාදය කියන වචන සඳහන් කරලත් නෑ. ප්රතිසංස්කරන සඳහා සටන් වදින්න පුලුවන් නම් සමාජවාදී විප්ලවයක අවශ්‍යතාවක් මොකටද! ධනපති සමාජ ක්‍රමය අර්බුදයට ගොස් තියෙන්නේ එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධතා පුපුරා යාමෙන්. එය ප්රකාශමාන වන්නේ ලෝක යුද්ධ, ආඥාදායක පාලනයන්, පාරිසරික ව්‍යසන, සමාජ අසමානතාව පුලුල් වීම ආදී ආකාර වලින්.”
පෙසප නියෝජනය කරන ඉහල මධ්‍යම පන්තික කොටස් මේ තුල ඉසිඹුවක් සෙවුවත් කම්කරු පීඩිත මහජනතාව මේ ක්‍රමය තුල මුහුන දී සිටින්නේ ජීවිතයත් මරනයත් අතර ගැටලුවකට බවත්, මහජනතාවගේ ඉල්ලීම් දිනා ගත හැකි වන්නේ සමාජවාදය සඳහා අරගලයේ අතුරු ඵලයක් වශයෙන් මිස ප්රතිසංස්කරන සඳහා කරන අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් නොවන බවත් පවසමින් හිරිමුතුගොඩ තම ප්‍රතිචාරය නිමා කලේ ය.
කම්කරු මාවත ප්රකාශනයේ සම කර්තෘ සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ ජාතික කර්තෘ කේ. රත්නායක සාකච්ඡාවට සහභාගි වෙමින් මෙසේ පැවසී ය:
“සමාජවාදී ඉදිරිදර්ශනය ඓතිහාසිකයි. මනුෂ්‍ය වර්ගයා විවිධාකාර සමාජ අවධීන් හරහා ඇවිත් දැන් නිශ්පාදනය මාධ්‍යවල හිමිකාරීත්වය සමාජීය කෙරුනු ක්‍රමයකට යා යුතු ව තිබෙනවා. ධනපති ක්‍රමය තුල සැබෑ නිෂ්පාදකයන් වන කම්කරු පන්තියට ඇයි ධනපති පන්තියෙන් තොර ව මේ කටයුත්ත කරන්න බැරි යන ප්රශ්නය ලෙනින් අධිරාජ්‍යවාදය කෘතිය තුල මතු කලා. ලෝකය මහ ව්‍යසනකාරී තැනකට ඇද ගෙන යමින් තිබෙනවා. ලංකාව මේ අර්බුදයෙන් ගහන වූ රටක්. ජවිපෙ ආන්ඩුව ලංකාව තුල ධනපති ක්‍රමය රැක ගන්න ජාත්‍යන්තර ප්රාග්ධනයේ නියෝජිතයා හැටියට ක්‍රියාත්මක වෙනවා.”
“කලින් අවධියක මාක්ස්වාදී ඉදිරිදර්ශනය සිසුන් අතර මුල් බැස තිබුනා. ස්ටැලින්වාදී නිලධරයේ ක්‍රියාකලාපය නිසා මේ සමාජවාදී සංස්කෘතිය දැන් විනාශ කෙරී තිබෙනවා. ශිෂ්‍යයන් මාක්ස්වාදයට යොමු වුනු තරුන සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වුනා නම් ඇති වන ප්‍රථිපලයත් දැන් ඔවුන්ගේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට ඇති කැකෑරෙන වුවමනාව ආන්ඩුවලට බලපෑම් දමා විසඳා ගන්න පුලුවන් කියන ධනපති ගැති දේශපාලනයට සිර කිරීම තුල ඇති කරලා තියෙන ප්‍රථිපලයත් දෙකක්.”
ලෝසවෙඅ ධනේශ්වර ගැති දෘෂ්ටිවාදයන්ට එරෙහි ව ගෙන ගොස් ඇති අරගලය හදාරා සසජාතශි වෙත සම්බන්ධ වී සමාජවාදය සඳහා අරගලයට සම්බන්ධ වන්නැයි ඔහු අවසාන වශයෙන් ඉල්ලා සිටියේ ය.
වැඩිදුර කියවන්න
- අවිශිබම විරුද්ධ පක්ෂ සමග තවත් ප්රතිගාමී සන්ධානයකට සූදානම් වේ
- ආන්ඩුවේ මර්දනයට එරෙහිව අවිශිබම රැස්වීම: ධනපති පෙරමුනක් තුල ශිෂ්‍යයන් සිර කිරීමේ වෑයමක්
- අවිශිබමයේ දස වසරක සයිටම් විරෝධතා හා නිදහස් අධ්‍යාපන කප්පාදුව
- පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ විරෝධතා පා ගමන සහ ශිෂ්‍යයන් කම්කරු පංතිය දෙසට හැරීම වැලැක්වීමේ “ශිෂ්‍ය දේශපාලනය”
- සයිටම් යෝජනා ආන්ඩුව අධ්‍යාපන පෞද්ගලිකරනය දිගටම ගෙනයන බව තහවුරු කිරීමක්
- සිසු සමිති ආන්ඩුව සමග සම්මුතියකින් සයිටම් විරෝධතා ව්‍යාපාරය නතර කරයි
- ප්‍රතිසංස්කෘතියක ඇරඹුම: කැලනිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ පොත ප්රතිගාමී අනන්‍යතා දේශපාලනය ප්‍රවර්ධනය කරයි
- අවිශිබමය ආන්ඩුවෙන් සාකච්ඡා ඉල්ලා මෙතරම් පොර අල්ලන්නේ ඇයි?
