වැඩි වන ශිෂ්‍ය විරෝධතා ඉන්දියාවේ අන්ත-දක්ෂිනාංශික ආන්ඩුව හොල්ලයි!

[මෙය Swelling student protests rattle India’s far-right government මැයෙන් 2026 ජූලි 23 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

කැරපොතු ජනතා පක්ෂයේ ආධාරකරුවෝ අධ්‍යාපන ඇමතිට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ඉන්දියානු පාර්ලිමේන්තුව දෙසට පෙලපාලියෙන් යාමට තැත් කරද්දී පොලිසිය සමග ගැටෙති. 2026 ජුලි 20 සඳුදා, නව දිල්ලිය - [AP photo/Vipin] [AP Photo/Vipin]

පසුගිය මාසයේදී අලුතෙන් පිහිට වූ කැරපොතු ජනතා පක්ෂය (CJP - Cockroach Janatha Party) විසින් ආරම්භ කල විරෝධතා ව්‍යාපාරයක්, දස දහස් ගනන් ශිෂ්‍යයන්, රැකියා විරහිත තරුනයන් හා තරුන වෘත්තිකයන් ඉන්දියාවේ අගනුවර වීදි වලට කැඳවාගෙන අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ අන්ත දක්ෂිනාංශික භාරතීය ජනතා පක්‍ෂයේ ආන්ඩුව (බීජේපීය) වැඩිවන අර්බුදයකට තල්ලු කර දමා ඇත.

විරෝධතා වලට ක්ෂනික හේතුව වූයේ ඉතාමත්ම දුෂ්කර, සමාජමය වශයෙන් අසමාන, රජයේ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයක දී සිදු වූ දූෂන පිලිබඳ මහජන දෝෂාරෝපනයකි. කෙසේ වෙතත් එම ව්‍යාපාරය ඉක්මනින් ම, රැකියා අවස්ථා නොමැතිකම, ඔඩු දිවූ දරිද්‍රතාව, සහ අති මහත් ජනතා බහුතරයත් ධනපතියන් හා මහා ධනපතියන් අතරත් එන්න එන්නම වැඩි වන පරතරය ආදිය නිසා වඩා පුලුල් සමාජ කෝපයේ පිපුරුම් ලක්ෂ්‍යයක් බවට පත් විය.

විරෝධතා ව්‍යාපාරය මේ සතියේ වැඩි වැදගත්කමක් අත්කර ගත්තේ පාර්ලිමේන්තු ගොඩනැගිලි දෙසට යාමට සූදානම් කල පෙලපාලියට ආන්ඩුව පැන වූ තහනම දස දහස් ගනන් තරුනයන් විසින් නොතකා හැරීම සමග ය. තම ප්‍රචන්ඩ හා ඒකාධිපතිවාදී සහජාශයට අනුකූල වෙමින් මෝදි තන්ත්‍රය කඳුලු ගෑස්, බැටන් ප්‍රහාර, තොග ගනනින් අත් අඩංගුවට ගැනීම සහ දහස් ගනන් පැරා මිලිටරි භටයන් යෙදවීම ආදියෙන් සමන්විත වූ බිහිසුනු පොලිස් මර්දනයකින් ප්‍රතිචාර දැක්වී ය.

ශිෂ්‍ය උද්ඝෝෂන එන්නේ නව දිල්ලියට යාබද නොයිඩා කර්මාන්ත පුරයේත් යාබද හර්යානා ප්‍රාන්තයේ මනේසාර් නගරයේත් කෲර ලෙස සූරාකනු ලබන කම්කරුවන් දහස් ගනනකගේ නැගිටීමකට පසු ව ය. කාර්මික නගර දෙකෙහි ම කම්කරුවෝ ජීවත් විය හැකි වැටුපක් ඉල්ලා සිටීම නිසා අපරාධකරුවන් කරනු ලැබ සිර දඬුවම් ලැබූහ.

ඉන්දියාවේ ශිෂ්‍යයන් මුහුන දෙන්නේ හැම පැත්තෙන්ම අඳුරු අනාගතයකට ය: එක්කෝ අන්තයට ම දූෂිත ප්‍රවේශ ක්‍රමය නිසා ඔවුන්ට උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වීමෙන් මුල සිට ම හිඟන වැටුප් ගෙවන රැකියාවකට යාමට සිදු වේ. නැත්නම් උපාධියෙන් පසු විරක්ෂා භාවයට, ඌන රැකියා නියුක්තියට හෝ අස්ථිර, තාවකාලික රැකියා සෙවීමට හෝ සිදුවේ.

ඉන්දීය ආන්ඩුවේ ම ශ්‍රම බලකා සංගනනයට අනුව රටේ විරක්ෂාභාවය වර්ෂ 45 ක් තුල වැඩි ම මට්ටමට නැග තිබේ. මෙම සංඛ්‍යාව කොතරම් දේශපාලන වශයෙන් පුපුරන සුලු ද යත් මෝදි ආන්ඩුව මුල දී එය යට ගැසුවේ ය. සෑම වසරකම ශ්‍රම බලකායට එකතුවන මිලියන 10 කට අධික තරුන පිරිසෙන් විධිමත් රැකියා ලබා ගැනීමට සමත් වන්නේ ඉතා ම සුලු පිරිසක් පමනකි. මෙය හදිසියේ සිදු වූ වැරදීමක් හෝ තාවකාලික අකර්මන්‍යතාවක් නොවේ. එය, සමස්‌ත පරම්පරාවක් ම සදාකාලික අස්ථාවරත්වයේ තබන අතරේ, බිලියනපතියන් 229 කට බිලියන දහස ඉක්ම වූ සුවිසල් ධනස්කන්ධයක් රැස් කර ගැනීමට ඉඩ සැලසූ ධනපති ආර්ථික පර්යායේ ව්‍යූහාත්මක ප්‍රතිඵලයයි.

විරෝධතා ව්‍යාපාරයේ මූලාරම්භය

සමාජ මාධ්‍ය තුල හුවමාරු වූ සංස්ථාපිතයට විරුද්ධ මීම් පෝස්ටුවකට පුලුල් මහජන සහයෝගය ලැබීමේ ප්‍රතිපලයක් ලෙස පිහිට වනු ලැබූ ‘කැරපොතු ජනතා පක්ෂය’ (CJP - සීජේපීය) යයි තමන් ම හඳුන්වා ගත් අලුත් ව්‍යාපාරය විසින් ජුනි 6 වන දින දිල්ලියේ පැවැත් වූ ප්‍රථම ප්‍රධාන රැස්වීමට පෙලපාලිකරුවන් දහස් ගනන් එක්‍ රැස්වීම තුල වර්තමාන උද්ඝෝෂනවල අග්මුල් සොයාගත හැකිය. තවත් ප්‍රධාන නගර කීපයක විරෝධතා උද්ඝෝෂනවලට පසු ව සීජේපීය ජුනි 20 වන දා මධ්‍යම දිල්ලියේ ජන්තර් මන්තර් හි (දිල්ලියේ පෞරානික ඓතිහාසික ස්ථානයක්) අඛන්ඩ වාඩි ලා ගැනීමක් ආරම්භ කලේ ය. දින අටකට පසුව, පරිසර හා අධ්‍යාපන ප්‍රතිසංස්කරන ක්‍රියාකරුවකු වන (59 හැවිරිදි ඉංජිනේරු) සෝනම් වන්ග්චුක් ශිෂ්‍යයන්ට සහයෝගය පිනිස එම ස්ථානයේ ම අඛන්ඩ උපවාසයක් ආරම්භ කලේ ය. 

සීජේපීයේ ප්‍රධානම ඉල්ලීම වූයේ ආන්ඩුවේ විභාගයක් වන, NEET (National Eligibility cum Entrance Test) 'නීට්' යනුවෙන් සියලු ම දෙනා අතර ප්‍රසිද්ධ, ජාතික යෝග්‍යතා සහ ප්‍රවේශ පරීක්ෂනයේ දී සහ ද්වීතියික අධ්‍යාපන සහතික පත්‍ර විභාගය පවත්වන මධ්‍යම මන්ඩලයේ සිදු වූ ක්‍රමානුකූල විභාග වංචා නිසා ෆෙඩරල් අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්විය යුතු බවයි.

උද්ඝෝෂනයේ ප්‍රථම ගිනි පුපුර වූයේ වෛද්‍ය විද්‍යලවලට සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා මැයි 3 දින පැවැත් වූ නීට් විභාගයේ ප්‍රශ්න කල් තියා ම, දේශපාලන සම්බන්ධතා ඇති ටියුෂන් ව්‍යාපාර අතට පත් වී තිබීමයි. නීට් විභාගය යනු වෛද්‍ය විද්‍යාලවල වාර්ෂික ව තිබෙන 136,000 ක් ස්ථාන සඳහා ලක්ෂ 23 ක් සිසුන් වාඩිවන අනිවාර්ය හා බිහිසුනු තරගකාරීත්වයක් සහිත විභාගයකි. පසු ව පැවැත් වූ විභාගය අවලංගු කර අලුත් විභාගයක් ජුනි 21 වැනි දා පැවැත්වීමට තීරනය කරන ලදී. ප්‍රතිපලය විනාශකාරී විය: බලාපොරොත්තු නැති භංග වූ තරුන තරුනියෝ 12 දෙනෙක් සිය දිවි නසා ගත්හ.

කැරපොතු ජනතා පක්ෂය යන නම පාලක භාරතීය ජනතා පක්ෂයේ නමට සරදමක් හා වැඩෙන සමාජ කෝපයේ නිෂ්පාදනයකි. මැයි 15 වෙනි දා ඉන්දියාවේ අග විනිසුරු සූර්ය කාන්ත්, විනිශ්චයාසනයේ ම සිට මිලියන ගනන් රැකියා විරහිත ඉන්දියානු තරුන තරුනියන් “පරපෝෂිතයන්” හා “කැරපොත්තන්” ලෙස හෙලා තලා කතා කලේ ය. පාලක පන්තියේ මෙම පිලිකුල අහම්බයක් නොව තමන් විසින් අසරන කොට අමතක කර දැමූ තරුන පරපුර කෙරෙහි පාලක පන්තියේ තිබෙන අවඥා සහගත භාවයේ නිරුවත් ප්‍රකාශනයයි. එපමනක් නොවේ, සිජේපීය සංස්ථාපිත දේශපාලනයෙන් ඔබ්බට නොගියත්, ඉතා ම අවම මට්ටමේ ඉල්ලීම්වලට සීමා වුවත්, ඉන්දියානු තරුන තරුනියෝ ප්‍රශ්නය නිවැරදි ව වටහාගෙන, තමන්ට එරෙහි මඩ ප්‍රහාරය කැරලිකාරිත්වයේ සංකේතයක් බවට පත් කර ගෙන සිටිති.

“සන්සද් චලෝ”: දස දහස් ගනන් පාර්ලිමේන්තුව බලා විරෝධතා පාගමක් පවත්වති

ඉන්දීය පාර්ලිමේන්තුවේ “මෝසම් සැසිවාරය” ආරම්භ වන ජුලි මස 20 වන දා, දස දහස් ගනන් පෙලපාලිකරුවෝ මෝදි ආන්ඩුවට විරෝධය පෑම සඳහා හින්දි බසින් “සන්සද් චලෝ” (අපි පාර්ලිමේන්තුවට පෙලපාලියෙන් යමු) නමින් හැඳින්වෙන පෙලපාලිය එකතුවීමට උත්සාහ කලහ.

සීජේපීය විසින් නායකත්වය දෙන ව්‍යාපාරයේ පරිමානය සහ අධිෂ්ඨානය නිසා හෙල්ලුම් කෑ මෝදි ආන්ඩුව ශිෂ්‍යයන් බිය ගැන්වීම සඳහා පෙලපාලි තහනම් කර ඒවා සාපරාධී ක්‍රියා ලෙස හංවඩු ගසා තමන්ගේ තහනමට පුලුල් ම ප්‍රචාරයක් දුන්නේ ය.

එය පැහැදිලි ලෙස ම අසාර්ථක වූ විට ආන්ඩුවේ නියෝග මත දිල්ලි පොලීසිය මෲග මර්දනයක් දියත් කලේ ය. පෙලපාලිකරුවන් පාර්ලිමේන්තුවට ලඟාවීම වැලැක්වීමට විශාල ආරක්ෂක හමුදා බල ඛන්ඩ යොදා මග හරස් කරන ලදී. පොලීසිය සෙනග මැදට කඳුලු ගෑස් ගසා සාමකාමී ව රැස් වූ තරුන තරුනියන්ට ඉවක් බවක් නැතිව පිට පිට ම නොකඩවා බැටන් ප්‍රහාර එල්ල කලේ ය. බොහෝ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නා ලද අතර පුද්ගලයන් 200 කට වඩා බරපතල ලෙස පහර දී ඇටකටු කඩා, හිසට ගැඹුරු කැපුම් තුවාල සිදු කරන ලදී. 21 හැවිරිදි තරුනියකට සිදුකල තුවාල කොතරම් බරපතල වී ද යත් ඇයට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමට සිදු විය.

නගර කේන්ද්‍රයට ජනයා ගලා ඒම වැලැක්වීම සඳහා මෙට්‍රෝ බස් පොලවල් ගනනාවක් තාවකාලික ව වසා දමන ලද අතර නව දිල්ලිය වටලන ලද නගරයක තත්වයට සමාන කරමින් පුලුල් තහංචි පනවන ලදී.

කලින් දිනයේදී රාත්‍රියේ පොලීසිය ජන්තා මන්තාර් හි විරෝධතාකරුවන් ගේ කූඩාරම් ප්‍රචන්ඩ ලෙස කඩා බිඳ දමද්දී හිස්වලට සිදුකල තුවාලවලට දැමූ බැන්ඩේජ් පිටින්ම සන්සාද් චලෝ පෙලපාලියට පසුවදා සහභාගි වූ දිරිමත් තරුනයින් ගනනාවක් පෙලපාලිකරුවන් අතර කැපී පෙනුනි.

2026 ජුලි මස 22 දින අධ්‍යාපන ප්‍රතිසංස්කරන ඉල්ලා පැවැත් වූ පෙලපාලියක් අතරතුර එක් විරෝධතාකරුවෙක් පොලිස් වාහනයක් මත වාඩි වී සිටී. නව දිල්ලිය, ඉන්දියාව, [ඡායාරූපය - AP photo/Vpin] [AP Photo/Vipin]

සඳුදා සිදුවීම්වලට පසුව, ජන්තර් මන්තර් විරෝධතා භූමියේ කූඩාරම් නැවත අටවා එහි වාඩිලා ගන්නා ලද අතර විරෝධතා ව්‍යාපාරය දිගට ම වර්ධනය විය. දිල්ලියේ විරෝධතාවට සහයෝගය දැක්වීමට මුම්බායි, චෙන්නායි, හයිද්‍රාබාද් සහ පැට්නා යන තවත් නගරවල ද විරෝධතා සංවිධානය කරන ලදී. බදාදා, ඉන්දියාවේ දෙවන ජනාකීර්න ප්‍රාන්තය වන බිහාරයේ අගනුවර වන අවසානයට සඳහන් කල නගරයේ දී දස දහස් ගනන් පෙලපාලිකරුවන්ට පොලිසිය මෲග ලෙස පහර දුන්නේ ය.

බ්‍රහස්පතින්දා අගමැති මෝදි තරුන උද්ඝෝෂනය පිලිබඳ තම නිහඬතාව බින්දේය. කෙටි සමාජ මාධ්‍ය පෝස්ටුවක් නිකුත් කරමින් තරුනයන්ගේ සුභ සිද්ධිය ගැන ව්‍යාජ සැලකිල්ලක් මවා පාමින් ප්‍රශ්න පත්‍ර පිටකිරීමට හා විභාග වංචා වලට සම්බන්ධ අයට දඬුවම් කිරීමට ඊනියා “කඩිනම් උසාවි” පිහිටුවීමට ඔහු පොරොන්දු විය. ගත වූ දශකය තුල එවැනි වංචා බොහෝ ගනනක් සිදු විය.

සිසුන් පොරොන්දුවකට පොලඹවා ගැනීම සඳහා සීජේපී නියෝජිතයන් සමග කලින් පැවැත් වූ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට හැකිය යන ඇඟවීමද ඔහු කලේ ය.

සීජේපීයේ ආරම්භක අභිජීත් දීප්කේ මේ දක්වා එය ප්‍රතික්ෂේප කර ඇත. දක්ෂිනාංශික ධනපති පක්ෂයක් වන ආම් ආද්මි පක්ෂය (සාමාන්‍ය මිනිසාගේ පක්ෂය) සමග පූර්ව සබඳතා සහිත බොස්ටන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු වන ඔහු, විරෝධතා ව්‍යාපාරය, නීට් ප්‍රශ්න පත්‍ර පිටවීම සහ අධ්‍යාපන ඇමතිගේ අස්වීම යන තනි ප්‍රශ්නයට සීමා කිරීමට උත්සාහ කරමින් සිටී. රැකියා උත්පාදනයට සහ අත්‍යවශ්‍ය පොදු ජනතා සේවාවන් පුලුල් කිරීම වැනි, අනුමත කලහොත් ධනපතියන්ගේ ලාභ ගොඩවල්වලට හා රුපියල් ට්‍රිලියන ගනන් යුද වියදම් වලට පහර වදින පියවරවල් සඳහා මුදල් වෙන්කරන ලෙස ඉල්ලීම තබා, අවශ්‍ය තරම් අරමුදල් කලක සිට ම වෙන් නොකර තිබුනු පශ්චාත් ද්වීතීයක අධ්‍යාපනයට අවශ්‍ය මුදල් වෙන්කිරීම හෝ සොච්චම් ශිෂ්‍යාධාර මුදල වැඩි කිරීම පිලිබඳ ඉල්ලීම් කිසිවක් ඔහු ඉදිරිපත් කරන්නේ නැත.

තමන් අතින් ග්‍රහනය ගිලිහෙන බව පැහැදිලි ව දන්නා දීප්කේ, සඳුදා මර්දනයෙන් තවත් ඇවිලුනු තරුන විරෝධතාකරුවන්ගේ ආන්ඩු විරෝධය සමග මේ මොහොතේ අනන්‍ය වීමේ අවශ්‍යතාව වටහා ගෙන සිටියි. “ජි” යන ගෞරවවාචකය ද ඈඳමින් මෝදිජි යනුවෙන් මෝදි ඇමතූ දීප්කේ මෙසේ පවසා සිටියේ ය: “ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස් වීම භාර ගන්නැයි මම නැවත වරක් ඔබෙන් ඉල්ලා සිටිනවා. නැති නම්, ගැටලුව ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස් වීමට පමනක් සීමා ව නොතිබෙනු ඇත. එය ඔබේ ඉල්ලා අස් වීම දක්වා ම වර්ධනය විය හැකියි.”

ඊයේ ඉන්ඩියන් එක්ස්ප්‍රෙස් හෙලිදරවු කලේ දිල්ලි පොලිසියට 1980 ජාතික ආරක්ෂක පනතින් පවරා ඇති බලතල ප්‍රකාර ව කටයුතු කරන්නැයි නියෝග කර ඇති බවයි. ජූලි 15 වැනි දා ම, මේ බලතල බලාත්මක කෙරුනු අතර එය ජූලි 19 වැනි දා සිට ඔක්තෝබර් 18 වැනි දා දක්වා මාස තුනක කාලයකට වලංගු වේ. මෙම මර්දනකාරී පනතට අනුව, පොලිසියට නිසි පරිදි ගොනු කල චෝදනාවකින් තොර ව, රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් හෝ මහජන සාමය පවත්වා ගෙන යාමට බාධාවක් වන ආකාරයෙන් හෝ සමාජයට අත්‍යවශ්‍ය සැපයුම් සහ සේවා පවත්වාගෙන යාමට බාධාවක් වන ආකාරයෙන් හෝ යමෙක් හැසිරුනේ ය යන පදනම මත ඔහු වසරක් දක්වා සිරබාරයට ගත හැකි ය                 

මෝදිගේ ප්‍රධාන හෙංචයියා වන නිදහසින් පසු ඉන්දියානු ඉතිහාසයේ වඩාත් ම මර්දනකාරී පියවරවල සැලසුම්කරුවා වන අභ්‍යන්තර කටයුතු ඇමති අමිත් ෂා රාජ්‍ය මර්දන ප්‍රතිචාරය තවත් උග්‍ර කිරීමට පියවර ගෙන ඇත. ඔහු මධ්‍යම අතිරේක පොලිස් බලකා ( Central Reserve Police Force) භටයන් සහ ක්ෂනික ක්‍රියා බලකායේ (Rapid Action Force) ඒකක අගනුවරට යොදවා ඇත. 

නිරායුධ තරුනයන්ට එරෙහි ව, මෙම පැරාමිලිටරි බලමුලුගැන්වීම පෙන්නුම් කරන්නේ මෝදි ආන්ඩුවේ හදවතේ ඇති භීතියයි. මෙම රෙජීමය ආන්ඩු කරන්නේ දේශපාලන සමාජ ගිනිකන්දක් මතයි; මේ ගැන එයමත් සවිඥානික ය.

නොයිඩා කර්මාන්තපුරයේ විරෝධතාවයේ නියැලි කම්කරුවන්ට අප්‍රේල් 4 වෙනිදා එල්ල කල ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පෙන්නුම් කල පරිදි ආන්ඩුවේ ලොකු ම බිය ශිෂ්‍ය අරගල, කම්කරු පන්තික විරෝධතා පුපුරා යාමට උත්ප්‍රේරකයක් ලස ක්‍රියා කිරීමට ඉඩ තිබීමයි.

විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ තරුන උද්ඝෝෂන ගසා කන්නට හා පාලනය කරන්නට කලබලයේ දිව එයි

ප්‍රධාන වශයෙන්ම කොන්ග්‍රස් පක්ෂය නායකත්වය දරන ඉන්දියාවේ ධනපති විරුද්ධ පක්ෂ සහ ඔවුන්ගේ බරසාර නමක් සහිත එහෙත් ඇතුලෙන් පුහු INDIA සන්ධානය, තමන්, විරෝධය පලකරන ශිෂ්‍යයන් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වීමට කලබලයේ පොරකමින් පෙරට පැමින සිටියි. ඉන්දියාවේ පෙලපත් ධනපති “විරුද්ධ පක්ෂයේ” පාරම්පරික උරුමයේ සංකේතය වූ කොන්ග්‍රස් නායක රහුල් ගාන්ධි, ජුලි 20 වන දා ශිෂ්‍යයන්ට සහය ලබා දෙන බව පෙන්වීමට රඟපෑමක් කලේ ය. ඔහු තවත් කොංග්‍රස් නායකයන් සමග මෝදිගේ නිල නිවසට පා ගමනක් වේදිකා ගත කලේ ය. එහි දී දිල්ලි පොලිසිය විසින් ඔහු සුලු වේලාවක් රඳවා ගන්නා ලදී.

කොන්ග්‍රස් පක්ෂය වනාහි, ඉන්දියාවේ වැඩ කරන ජනතාවට බීජේපීය එල්ල කරන පන්ති යුද්ධයට විකල්පයක් නොව එම යුද්ධයේ සම කර්තෘ ය. දක්ෂිනාංශික, ගෝත්‍රික- ජාතිකවාදී සහ කුලවාදී පක්ෂවලින්ද ස්ටැලින්වාදී පාර්ලිමේන්තු හවුල්කරුවන්ගෙන්ද (සීපීඑම් හා සීපීඅයි) සමන්විත INDIA සන්ධානය විකල්ප දක්ෂිනාංශික ධනපති ආන්ඩුවක් යෝජනා කරයි. එය, මෝදිගේ ආන්ඩුව මෙන්ම කම්කරු විරෝධයටත්, ආයෝජකයන් දිරිගන්වන ප්‍රතිසංස්කරනවලටත් එක්සත් ජනපදය සමග චීන විරෝධී යුද සන්ධානයටත් කැප වූ ආන්ඩුවක් වනු ඇත.

ඓතිහාසික ව “වාමාංශික” යයි හඳුනාගනු ලැබූ සංවිධාන — සීපීඅයි, සීපීඑම් හා ස්ටැලින්වාදී ඉන්දියානු වෘත්තීය සමිති මධ්‍යස්ථානය (CITU) හා සමස්‌ත ඉන්දීය වෘත්තීය සමිති සම්මේලනය (AITUC) ඇතුලු සවිධාන, විය යුතු ලෙස ම පුලුල් ජනතා අපකීර්තියට පත් ව සිටියි. මේවා හින්දු ස්වෝත්තමවාදී බීජේපීයට විරුද්ධ වීමේ නාමයෙන් දශක ගනනාවක් තිස්සේ පන්ති අරගලය යටපත් කර ගෙන, දක්ෂිනාංශික මධ්‍යම ආන්ඩුවලට සහාය දෙමින්, තමන්ට බලය ඇති ප්‍රාන්ත රාජ්‍ය තුල ආයෝජකයන්ට හිතකර ප්‍රතිපත්ති යයි තමන් ම විස්තර කරන ප්‍රතිපත්ති ක්‍රියාවට දමමින් සටන්කාමී කම්කරු අරගල හුදෙකලා කරයි‍.

නමුත් නොයිඩා කම්කරු උද්ඝෝෂනයත් වර්තමාන ශිෂ්‍ය විරෝධතාවත් යන දෙක ම පැන නැගුනේ සම්ප්‍රදායික සංවිධාන ව්‍යුහයන්ට හා විරුද්ධ යයි පෙන්වන පක්ෂවලට පිටස්තර ව ය. මෙය පිලිඹිඹු කරන්නේ සමාජ අර්බුදයේ ගැඹුර හා ජනතාව “වම” හා “දකුන” යන දෙක ම අඩංගු සමස්ත සංස්ථාපිතයෙන් ම වෙන් වී ගමන් කිරීම ය. බීජේපී ආන්ඩුවත් සමස්තයක් හැටියට ධනපති පාලක පන්තියටත් සැබවින්ම තර්ජනය කරන යම් දෙයක බීජ ඒ තුල අඩංගු ය.

සීජේපී නායකත්වයේ දේශපාලනය විසින් දැනට ම පෙන්වා දී තිබෙන පරිදි, එය, එවැනි සෑම ව්‍යාපාරයක්ම මුහුන දෙන ප්‍රධාන අනතුරක් ද මතු කරයි. කම්කරු පන්තිය සමාජවාදී හා ජාත්‍යන්තර වාදී පදනමක් මත බලමුලු ගැන්වීම ඉලක්ක කර නොගතහොත්, කොතරම් සටන්කාමී හා අධිෂ්ඨානශීලී වුවත් එවැනි ව්‍යාපාර ධනපති හා ව්‍යාජ වාමාංශික දේශපාලන බලවේග විසින් තමන් අතට ගෙන, නොමග යවා අවසානයේ දී දිය කර හැරීමේ අනතුර පවතී. 2022 දී ශ්‍රි ලංකාවේ මහජන නැගිටීමට සිදුවූයේ එයයි.

ඉන්දියාවේ ප්‍රවේශ විභාගවල තදබල තරගකාරීත්වයත් ඒවායේ සිදුවන නින්දා සහගත වංචා සහ දූෂන සේ ම වඩා මූලික ප්‍රශ්න වන දැඩි මහජන දරිද්‍රතාව හා විරැකියාව, ධනවාදයේ ගෝලීය අර්බුදය තුල මුල් බැසගත් සමාජ ආපදාවන්‍ ය.

ඉන්දියාව සහ ඇමරිකාව සර්වසම කල නොහැකි වූවත් අදාල වෙනස්කම් සැලකිල්ලට ගනිමින් සලකා බැලූ කල,බීජේපී ආන්ඩුව සහ සාංගමික ජනමාධ්‍ය විසින් හුවා දක්වන ඉන්දියාවේ නැගී සිටීම, ලෝක පරිමානවත් විශේෂයෙන් ගෝලීය ධනවාදයේ මධ්‍යස්ථානය වන ඇමරිකා එක්‌සත් ජනපදයේ සිදුවන වර්ධනයන් ගේ පරාවර්තනයකි. පෙර නොවූ විරූ තරම් වූද තවදුරටත් වැඩි වෙමින් පවතින්නාවූද සමාජ අසමානත්වය විසින් සමාජය ඉරා දමා තිබේ; කතිපයාධිකාරී පාලක පන්තිය අන්ත දක්ෂිනාංශික ඒකාධිපතිත්වය වැලඳ ගනිමින් සිටී; යලි සන්නද්ධවීම සඳහා සහ යුද්ධය සඳහා අති විශාල මුදල් කඳු පොම්ප කරන අතරේ පොදු සේවාවන් පවත්වා ගෙන යාමට මුදල් නැතැයි ආන්ඩුව ප්‍රකාශ කරන අතරේ වැඩ කරන ජනයාගේ අයිතීන්ට නොකඩවා ම පහර දෙනු ලැබේ.

සමාජවාදී නැමියාවක් සහිත තරුන තරුනියන් විරෝධතා ව්‍යාපාරය කම්කරු පන්තිය දෙසට හැරවිය යුතුය. එය නොයිඩා කර්මාන්ත පුරයෙන් හා ගුර්ගාඔන්-මනේසර් කර්මාන්ත කලාපයෙන් ආරම්භ කල හැකි ය. මෝදි ආන්ඩුව පරාජය කිරීමටත් සමාජවාදී සමානතාව සමාජයේ මාර්ගෝපදේශක මූලධර්මය බවට පත් කිරීමටත් සමාජමය බලය ඇත්තේ කම්කරු පන්තිය අතේ ය. නමුත් මෙම බලය මුදා හැරීමට නම් කම්කරු පන්තිය ස්ටැලින්වාදීන් ඇතුලු සියලු ධනපති ක්‍රමයට පක්ෂ දේශපාලන සංවිධානවලින් වෙන් ව තම දේශපාලන ස්වාධීනතාව තහවුරු කර ගෙන කම්කරු ආන්ඩුවක් හා සමාජය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීමක් සඳහා පීඩිත ජනයා තමන් වටා රැලි කර ගත යුතු ය. මේ සඳහා පන්ති අරගලයේ අලුත් සංවිධාන - ස්වාධීන ක්‍රියාකාරී කමිටු සහ සියල්ලටමත් වඩා විප්ලවවාදී කම්කරු පන්තික පක්ෂයක්, එනම් ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ගොඩනගා ගැනීම අවශ්‍ය වේ.

Loading