ඉදිරිදර්ශන

ඇමරිකානු භීෂනය පිලිබඳ කතාවක්: ක්‍රිස්ටා පයික්ගේ අසාර්ථක වූ මරන දඬුවම

[මෙය An American horror story: The failed execution of Christa Pike යන මැයෙන් 2026 ඔක්තෝබර් 01 දින ඉංග්‍රීසි බසින් පල විය.]

ටෙනසි ​​​​ප්‍රාන්තයේ නෑෂ්විල්හි රිවර්බෙන්ඩ් උපරිම ආරක්ෂක බන්ධනාගාරයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ව තිබූ ක්‍රිස්ටා පයික්ගේ මරන දඬුවම අත්හිටුවීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිනෙන හදිසි සේවා රථ [ඒපී ඡායාරූප/ජෝර්ජ් වෝකර් IV] [AP Photo/George Walker IV]

සමාජ සමානාත්මතාවය, යුක්තිය සහ මානව ගරුත්වය වෙනුවෙන් පෙනී සිටින ඕනෑ ම අයෙකුගේ සිත් කම්පා කරවන තරම් ම්ලේච්ඡ සිදුවීම් වර්තමාන ඇමරිකානු සමාජය තුල දැකිය හැකි ය. බදාදා (සැප්තැම්බර් 30) රාත්‍රියේ ටෙනසි ප්‍රාන්තය ක්‍රිස්ටා ගේල් පයික්ට මරන දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් උත්සාහය එවැනි සිදුවීමකි.

මෙම කාන්තාව මරනයට පත් කරනු දැකීමේ අධිෂ්ඨානය සම්බන්ධයෙන් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනයේ දක්ෂිනාංශික බහුතරය ගර්හාවට ලක් කල යුතු ය. පයික්ට ලබා දුන් වධ හිංසාවලට හෝ 21 වන සියවසේ ඇමරිකාවේ මරනීය දන්ඩනයේ සමස්ත ම්ලේච්ඡ ක්‍රියාවලට එරෙහි ව නැගී සිටීමට ජාතික දේශපාලන සංස්ථාපිතයේ කිසිදු කොටසක් අපොහොසත් විය. ඔවුන් සියල්ලෝ ම පෙනී සිටින්නේ ඝාතනයට රජය සතු අයිතිය වෙනුවෙනි. ලෝකය කෝපයට පත් වීම සාධාරන ය.

50 හැවිරිදි පයික්, ටෙනසි ​​​​ප්‍රාන්තයේ මරන දඬුවම නියම වූවන් රඳවා තබන සිර මැදිරියේ දශක තුනක් ගත කර ඇති අතර ඉන් වසර 25 කට වැඩි කාලයක්, අඩි 7 x 12 ප්‍රමානයේ සිර මැදිරියක තනි ව රඳවා තබනු ලැබ සිටියා ය. 1995 ජනවාරි මාසයේ දී, ඇය 18 හැවිරිදි වියේ පසුවෙද්දී, තම 17 හැවිරිදි පෙම්වතා වූ ටැඩරිල් ෂිප් සමග, ඔවුන් අධ්‍යාපනය ලබමින් සිටි නොක්ස්විල් හි රජයේ වෘත්තීය පුහුනු පාසැලේ ම සිසුවියක වූ 19 හැවිරිදි කොලීන් ස්ලෙමර් කැලෑබද ප්‍රදේශයකට රවටා රැගෙන ගොස්, ඇයට පහර දී, වධ හිංසා පමුනුවා ඝාතනය කලහ. එය ඉතා දරුනු අපරාධයක් වූ අතර, පයික් ද එය එසේ ම බව පිලිගනී. ඇය සිය දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කල පෙත්සමේ, “මම යමෙකුගේ දියනියකගේ, සහෝදරියකගේ හෝ මිතුරියකගේ ජීවිතය නැති කලෙමි. එවැනි අපරාධයක් කිරීමට මට හැකියාව තිබුනා යැයි සිතන විට දැන් මට දැඩි පිලිකුලක් දැනේ,” යනුවෙන් සඳහන් කර තිබුනි. 

වහල් ප්‍රාන්තයක් ව පැවති ටෙනසිහි සිවිල් යුද්ධයට පසු කාලයේ මරන දඬුවම නියම වූ පලමු කාන්තාව බවට පයික් පත්වීමට නියමිත ව තිබුනි. අඟහරුවාදා (සැප්තැම්බර් 29) සවස, දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ඇය ඉදිරිපත් කර තිබූ ඉල්ලීම, විරුද්ධත්වයක් නොමැති ව අධිකරනය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. බදාදා (සැප්තැම්බර් 30) නෑෂ්විල්හි රිවර්බෙන්ඩ් උපරිම ආරක්ෂක ආයතනයේ දී ඇයට මරන දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිත ව තිබූ වේලාවට පැයකට පෙර, පෙ.ව. 9 ට පමන, එක්සත් ජනපද අභියාචනා අධිකරන විනිසුරු මඬුල්ලක් මරන දඬුවම තාවකාලික ව අත්හිටුවීමට 2-1 ලෙස ඡන්දය ප්‍රකාශ කලේ ය. “නොනිසි ප්‍රමාද උපක්‍රම” හෙලා දකිමින් අභියාචනාධිකරනයේ තීන්දුවට එරෙහි ව ටෙනසි ප්‍රාන්තයේ නීතිපති ජොනතන් ස්ක්‍රමෙට්ටිගේ කාර්යාලය ශ්‍රේෂ්ඨාධිකරනයට වහා ම යොමු විය. සවස 5:50 ට පමන, විනිසුරුවරුන්ගේ 6-3 ඡන්දයකින් මරන දඬුවම අත්හිටුවීමේ අභියාචනාධිකරන තීන්දුව අහෝසි කෙරුනි.

රට පුරා මරනීය දන්ඩනයට නියම වී සිටින 2,000කට අධික පිරිසෙන් පයික් එක් අයෙකි—ඉන් බහුතරය කම්කරු පන්තියෙන් පැමිනි දුප්පතුන් වන අතර බොහෝ දෙනෙක් මානසික රෝග හෝ බුද්ධිමය ආබාධවලින් පෙලෙන අය වේ. පයික් මෙන් බොහෝ දෙනෙක් අපයෝජන කැලැල් සහිත ලමා කාල ගත කල අය වෙති. ඇය වයස අවුරුදු 2 සිට 5 දක්වා ඇගේ මිත්තනියගේ පෙම්වතා අතින් ලිංගික අතවරයට ලක් ව තිබේ; වයස අවුරුදු 11 දී 37 හැවිරිදි අසල්වැසියෙකු විසින් දූෂනය වී ඇත; නන්නාදුනන පුද්ගලයෙක් වයස අවුරුදු 17 දී නැවතත් දූෂනය කර තිබේ. ගර්භනී සමයේ දී ඇගේ මව අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් ඇගේ මොලයේ ඉදිරි මස්තිෂ්කයට හානි සිදු ව පැවති බවට ඇගේ නීතිඥයින් සාක්ෂි උපුටා දක්වයි. ඇයට බයිපෝල ඩිසෝඩර් (Bipolar Disorder) සහ පශ්චාත්-කම්පන ආතති ආබාධය (Post-Traumatic Stress Disorder) පවතින බව හඳුනා ගන්නා ලද්දේ ඇයට නඩු තීන්දුව ලැබීමෙන් පසු ව ය. ඇය වෙනුවෙන් අධිකරනය විසින් පත් කරන ලද පලපුරුද්දෙන් තොර නීතිඥවරයා මේ කිසිවක් ජූරි සභාවට ඉදිරිපත් කලේ නැත. ඇය වරදකරු කර මරන දඬුවම නියම කරන ලදී.

ටෙනසි ​​​​ශ්‍රේෂ්ඨාධිකරනය විසින් පයික්ගේ මරන දන්ඩනය ක්‍රියාත්මක කිරීම සැප්තැම්බර් 30 වැනිදාට නියම කරන ලදී. එදින සවස 6:41ට සාක්ෂිකරුවන් නිරීක්ෂන කාමරයට ඇතුලු වූ අතර ඔවුන්ට වසා තිබූ තිරයට පිටුපසින් පයික්ගේ කෙඳිරිගාන සහ හඬන ශබ්දය පැයකට ආසන්න කාලයක් පුරා ශ්‍රවනය කලහැකි විය. ඇයගේ නීතිඥයන් පැවසූ ආකාරයට ඇයට විෂ එන්නත් මාත්‍රා දෙකක් ලබා දීමට කැනියුලා ඇතුලු කිරීමට සුදුසු ශිරාවන් දෙකක් සොයා ගැනීමට පැයකට ආසන්න කාලයක් ගත වී ඇත. නීතිඥ රැන්ඩි ස්පයිවි ඇගේ වම් බාහුවේ පමනක් එන්නත් කටු හතක සිදුරු ගනන් කර ඇත.  සවස 7:26 ට තිරය විවෘත කල විට පයික් තමා “ආදරයෙන්” ලෝකයෙන් සමුගන්නා බවත් “මෙය ඉතා සතුටුදායක දිනයක්” බවත් සඳහන් කලා ය. 

ඉන්පසු, මරනයට පත් කිරීමට අවශ්‍ය පෙන්ටොබාර්බිටල් මාත්‍රාවන් ඇයට කැනියුලා නාල හරහා ලබා දෙන ලදි. රාත්‍රී 7:34 ට ඇය “මගේ අත පුපුරා යාමට ආසන්න බවක් දැනෙනවා” යැයි පැවසුවා ය. ඇය හිස ඔසවා ඇයට දැනෙන වේදනාව සාමාන්‍ය දෙයක්දැයි විමසුවාය. රාත්‍රී 7:46 ට තිරය වසා දැමුනු අතර මිනිත්තු තුනකට පසු දෙවන වටය සඳහා නැවත විවෘත විය. පයික් හඬ නගමින් ගැඹුරු හුස්ම ගැනීමට පටන් ගත්තාය; එක් අවස්ථාවක ඇගේ හිස සහ දෙ කකුල් ඇය හොවා තිබූ ඇඳෙන් ඉහලට එසවුනි. රාත්‍රී 8:05 ට තිරය අවසන් වරට වසා දමන ලදී. රාත්‍රී 8:53 වන තෙක් සාක්ෂිකරුවන්ට ඇය අපහසුවෙන් ගොරවමින් හුස්ම ගන්නා හඬ ඇසුනු අතර පසුව මයික්‍රෆෝනය අක්‍රිය කර ඔවුහු බැහැර ගෙන යනු ලැබූහ.

ඇයගේ නීතිඥවරුන්ගේ හදිසි ඉල්ලීමකින් අනතුරු ව, ෆෙඩරල් විනිසුරුවරයෙකු ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස නියෝග කලේ ය. රාත්‍රී 9:15 ට, සිදුවීම ඇසින් දුටු මාධ්‍ය නියෝජිතයන් වාර්තාකරුවන් වෙත තොරතුරු ලබා දෙමින් සිටිය දී, ආලෝක සංඥා දැල්වෙමින් තිබූ ගිලන් රථයක් සහ ගිනි නිවන රථයක් බන්ධනාගාරය වෙත පැමිනියේය. පයික් රෝහලක් වෙත රැගෙන ගිය අතර, ඇය තවමත් එහි අසාධ්‍ය තත්වයෙන් පසුවේ. “සිරකරු මියගොස් නොමැති වූ විට” ලබා දීමට නියමිත අතිරේක එන්නත් සිරින්ජ ලබා දීම ඇතුලත්, ක්‍රියාපටිපාටියේ “සෑම පියවරක් ම” තමන් අනුගමනය කල බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධාරනය කරයි.

මෙය මෙම වසරේ ටෙනසි ප්‍රාන්තයේ, අසාර්ථක වූ දෙවන මරන දන්ඩනය යි. මරන දන්ඩනය “සාධනීය” ලෙස ක්‍රියාත්මක කල යුතු බව අවධාරනය කරන අතර ම, අසාර්ථක වූ මෙම සිදුවීම “ඛේදවාචකයක්” ලෙස හැඳින් වූ ආන්ඩුකාර බිල් ලී, ඒ පිලිබඳ ව සමාලෝචනයක් සිදු කිරීමට නියෝග කර ඇති අතර, මෙම වසරේ ඉතිරි ව තිබූ මරන දන්ඩන ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇත.

දක්ෂිනාංශික දේශපාලන චරිතවලින් ලැබුනු ප්‍රතිචාරය සැබැවින් ම හාස්‍යජනක ය. බුෂ් පරිපාලනයේ වෝටර්බෝඩින් (Waterboarding - අත් පා බැඳ ඇති පුද්ගලයෙකුගේ මුහුන සහ හුස්ම ගැනීමේ මාර්ග ආවරනය කරන රෙදි කඩකට ජලය වත් කරමින් දියේ ගිලී යන බවක් දැනීමට සලස්වන වධහිංසා ක්‍රමයකි) හිංසන ක්‍රමය සාධාරනීකරනය කරමින් “වධක සටහන් (Torture Memos)” නම් ලේඛනයක් ලියූ, හිටපු අධිකරන දෙපාර්තමේන්තුවේ නීතිඥ ජෝන් යූ, මාරාන්තික එන්නතක් එන්නත් කිරීම “වඩා ත් ම මානුෂීය ක්‍රමය” බව බ්‍රහස්පතින්දා ෆොක්ස් නිව්ස් වෙත පැවසූ අතර, [එය අසාර්ථ වේ නම්] “වෙඩි තබා මරා නොදමන්නේ මන්දැයි” ද විමසී ය. “ටෙනසියට [පයික්ගේ මරන දඬුවම] නැවත උත්සාහ කිරීමට සිදු වනු ඇත” යනුවෙන් ඔහු තව දුරටත් පැවසී ය.

පයික් පවසා තිබුනේ ඇය මරනයට බිය නොවන නමුත් මරනය සිදුවන ආකාරය ගැන බියක් දැනෙන බවයි. “මම මැරෙන්න බය නැහැ; මට බයක් හෝ නොසන්සුන් බවක් හෝ දැනෙන්නේ ඒ හා සම්බන්ධ ක්‍රියාවලිය ගැනයි,” යැයි ඇය ලියුවා ය.  ඇයගේ පසුබිම සැලකිල්ලට ගනිමින්, මරන දන්ඩනය ක්‍රියාත්මක කරන ගිලන් මැස්ස මත සිටිය දී “තමන්ව දූෂනය කර මරා දමනු ලබන බවක් ඇයට දැනෙන්නට හෝ ඇය එසේ විශ්වාස කරන්නට හෝ” ඉඩ ඇති බවට විශේෂඥයින් අධිකරනයට අනතුරු අඟවා තිබුනි. ඇයගේ නීතිඥ ස්ටීවන් ෆෙරෙල් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කල පරිදි, ඇය “තම මරනය කල් ගත වන, වේදනාකාරී සහ කම්පන සහගත එකක් වනු ඇති යැයි බෙහෙවින් ම බිය විය; ඇත්තෙන් ම සිදු වූයේ ද එයයි. යන්තම් පන බේරා ගැනීමට හැකි විය.” පයික් පන අදිමින් සිටින අතර ඇයගේ එම බියකරු සිහිනය යථාර්තයක් වී තිබේ. ඇය සදාකාලික ආබාධිත තත්වයට පත් විය හැක. ඇයගේ නීතිඥයින් විසින් සම්බන්ධ කරගත් එමෝරි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මහාචාර්ය ජොයෙල් සිවොට් බීබීසී (BBC) වෙත පැවසුවේ, “ඇය නැවත ප්‍රානවත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ඇයගේ මොලයට හානි සිදුවීමේ ඉඩකඩ ඉතා වැඩි,” බවයි.

රාජ්‍යය අතින් පයික්ට සිදු වූ වධහිංසා වෙනුවෙන් වගකීම පැවරෙන්නේ සමස්ත එක්සත් ජනපද “අධිකරන” පද්ධතියටයි, සියල්ලටත් වඩා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනයටයි. වොෂින්ටනයේ කලු ලෝගු පැලඳගත් ප්‍රතිගාමීන් (විනිසුරුවන්) මෙම මරන දඬුවම ක්‍රියාත්මක කිරීමට මෙතරම් ඉක්මන් වූයේ ඇයි? 6 වන මාන්ඩලික අධිකරනය (ඇයගේ අභියාචනය සලකා බැලූ අභියාචනාධිකරනය), නව ප්‍රකාශනයක් ප්‍රකාශයට පත්කර “ගැටලුව නිසි ලෙස ආමන්ත්‍රනය කර විසඳීමට” කාලය ඉල්ලා සිටියේ ය. වරදකරු වීමෙන් පසු නඩු විභාගවල දී, ඇය පවසන ඇගේ අපයෝජන සම්බන්ධයෙන්, පයික් “ව්‍යාධික බොරුකාරයෙකු” (බොරු කීම සිරිතක් කර ගත් අයෙකු) ලෙස රජය විසින් හංවඩු ගසා තිබුනි. ඇය විඳි “භයානක දේවල් ගැන තමන් විවාද නොකරන” බව අගෝස්තු මාසයේ දී රජය පිලිගත්තේ ය.

එහෙත්, නඩුවේ අදාල කරුනු විමසා බැලීම සඳහා ප්‍රමානවත් ලෙස කාලය ලබා ගැනීමට අධිකරනයේ බහුතර විනිසුරුවරුන්ට නොහැකි විය. මධ්‍යම රාත්‍රිය වන විට පයික්ගේ මරන දන්ඩනය ක්‍රියාත්මක කිරීමේ නියෝගයේ වලංගු කාලය අවසන් වීමට නියමිත ව තිබූ අතර යම් ප්‍රමාදයක් සිදුවූයේ නම් නව දිනයක් ලබා ගැනීම සඳහා නැවතත් අධිකරනය වෙත යාමට ටෙනසි ප්‍රාන්තයට සිදුවන්නට ඉඩ තිබුනි. ප්‍රාන්තය විසින් ඒ සඳහා දිනයක් නියම කර තිබූ බැවින්, නියමිත සැලසුමට අනුව ම එම දන්ඩනය ක්‍රියාත්මක කිරීමට සිදු විය.

එලේනා කගන් සහ කෙටන්ජි බ්‍රවුන් ජැක්සන් යන විනිසුරුවරුන් සමඟ එක් වූ සෝනියා සොටෝමයර් විනිසුරුවරිය මෘදු වචනවලින් ඊට විරුද්ධත්වය පලකරමින් කියා සිටියේ, අධිකරනය පයික්ගේ නඩු කටයුතු අවසන් වීමට පෙර ම, “ඇගේ මරන දන්ඩනය ක්‍රියාත්මක කිරීමට රාජ්‍යයට අවසර දීමේ දී අසාමාන්‍ය සහනයක්” සලසා ඇති බවට විරෝධය පල කරමිනි. මරන දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම අධිකරනය ප්‍රතික්ෂේප කල දිනට පෙර මේ තිදෙනාගෙන් කිසිවෙක් විරුද්ධත්වයක් වාර්තා කර නොතිබුනි.

අධිකරනයේ තීන්දුව, ක්‍රිස්ටා පයික්ගේ ඉරනම පිලිබඳව පමනක් නොව, මරන දඬුවම ක්‍රියාත්මක කිරීමේ රාජ්‍යයේ අයිතිය තහවුරු කිරීම පිලිබඳ  ව ද වූවකි. මරන දඬුවම ප්‍රධාන වශයෙන් ම භාවිතා කෙරෙන්නේ ජනතාව තුල භීතිය ඇති කිරීමට ය. කෙටි විරාමයකින් පසු 1976 දී අධිකරනය විසින් මරන දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා දීමෙන් අනතුරු ව, කෲර සහ අසාමාන්‍ය දඬුවම් තහනම් කරන, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අටවන සංශෝධනය යටතේ යම් යම් සීමිත ව්‍යතිරේකයන් හඳුන්වා දී ඇත; එනම්, අපරාධය සිදු කරන අවස්ථාවේ බාලවයස්කරුවන් ව සිටි අය, බුද්ධිමය ආබාධ සහිත අය, තමන් මරන දඬුවමට ලක් කරන්නේ මන්දැයි වටහා ගැනීමට නොහැකි අය සහ මරනයක් සිදු නොකල අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූවන් මරන දඬුවමට ලක් කිරීම තහනම් කිරීම ඊට ඇතුලත් ය. එහෙත්, තම පුරවැසියන් මරනයට පත් කිරීමට ප්‍රාන්තවලට සහ ෆෙඩරල් ආන්ඩුවට ඇති අයිතිය අධිකරනය විසින් අඛන්ඩ ව තහවුරු කර තිබේ. බාලවයස්කරුවන් සම්බන්ධයෙන් අධිකරනය විසින් සීමාව ලෙස නියම කර තිබුනේ වයස අවුරුදු 18 යි. පයික්ගේ වයස ද අවුරුදු 18 ක් විය.

ප්‍රාන්ත සහ ෆෙඩරල් ආන්ඩුව විසින් නිර්මානය කරන ලද විදුලි සැර වැද්දවීම, මාරාන්තික එන්නත් භාවිතා කිරීම, නයිට්‍රජන් ආශ්වාසයෙන් හුස්ම හිර කිරීම, භට කන්ඩාම් ලවා වෙඩි තැබ්බවීම ආදී රාජ්‍ය මිනී මැරුම් ක්‍රම රාශියක් ව්‍යවස්ථානුකූලභාවය පිලිබඳ ව අධිකරනය තීන්දු කර ඇත; [කෲර වන හෙයින් මරන දඬුවම ලබා නොදිය යුතු ආකාරය ගැන විවාදයක් පවතින] නමුත් අධිකරනය මරන දඬුවම ම ව්‍යවස්ථා විරෝධී බව තීන්දු කිරීම නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කර ඇත. මරන දඬුවම ලබා දීමේ විවිධ බිහිසුනු ඝාතන ක්‍රම සම්බන්ධයෙන් විනිසුරුවරුන්ගේ ආරවුල්, මරන දිගට ම ගොඩ ගැසෙන බව සහතික කිරීම අරමුනු කර ඇත. මරන දන්ඩනයට නියම වූවන්ට පමුනුවන දුක් වේදනා සම්බන්ධයෙන් ගත් කල, 2019 දී අටවැනි සංශෝධනයෙන් “සිරකරුවෙකුට වේදනාවෙන් තොර මරනයක් සහතික නොකෙරේ” යැයි ප්‍රකාශ කල ශ්‍රේෂ්ඨාධිකරනයේ බහුතර විනිසුරුවරු එම දුක් වේදනා සාධාරනීකරනය කලහ.

මරන දඬුවම පන්ති පාලනයේ අවසාන අවියයි. ටෲමා තත්වයට පත් කාන්තාවක් සිය රට තුල දී, වධහිංසා පමුනුවා මරනයට පත් කිරීමට ගිලන් මැස්සකට බැඳ තබන එම රාජ්‍යය ම, ඉරානයට එරෙහි ව යුද්ධ කරමින් ගාසා තීරයේ ජන සංහාරය සන්නද්ධ කරමින් දස දහස් ගනනක් මරා දමයි. අයිසීඊ ගෙස්ටපෝව (ICE Gestapo) සංක්‍රමනිකයන් වටලා, ICE කඳවුරුවල දස දහස් ගනනක් රඳවා තබා ගන්නා අතර මේ වසරේ වීදිවල දී අහිංසක පුද්ගලයින් හතර දෙනෙකු අමු අමුවේ වෙඩි තබා ඝාතනය කර තිබේ. ඕනෑ ම සාමාන්‍ය දිනයක, ඇමරිකාවේ සිරගෙවල් සහ බන්ධනාගාරවල මිලියන 2 කට ආසන්න ජනතාවක් සිරගත කරනු ලැබ සිටිති.

මරන දන්ඩනයට හිමි වන මහජන සහාය පවතින්නේ ඓතිහාසික වශයෙන් පහලම මට්ටම්වල ය; විශේෂයෙන් ම තරුන පරපුර අතර ඊට ඇති සහාය සීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබේ. නෑෂ්විල්හි මරන දන්ඩනය ක්‍රියාත්මක කරන ස්ථානයේ ඊයේ දිනයේ දී දැකගත හැකි වූ බිහිසුනු දසුන පිලිබඳ ව බොහෝ ඇමරිකානුවන් තුල දැඩි පිලිකුලක් සහ කෝපයක් ජනිත කර ඇත. කම්කරු පන්තියේ අරගලවල වර්ධනය තුලින් මෙන් ම, ICE සහ එක්සත් ජනපද හමුදා භීෂනයට එරෙහි විරෝධතා තුලින් ද පිලිබිඹු වන්නේ එම කෝපය ම ය. කෙසේ වෙතත්, මෙම ප්‍රචන්ඩත්වයේ සහ පීඩාවේ මූලාශ්‍රය හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ.

සමාජ අසමානතාවයේ සහ දුක්ඛිතභාවයේ පන්තිමය පදනම පෙන්වා දෙමින්, 1918 දී තමන්ට දඬුවම් නියම කල අධිකරනය හමුවේ සමාජවාදී ඉයුජින් වී. ඩෙබ්ස් මෙසේ පැවසී ය: 

“දුප්පත්කමේ ගොදුරු බවට පත් ව සිටින, එසේ ම තරුන වියේ සිට මහලු විය දක්වා ම, අවසානයේ මරනය පැමින මේ අවාසනාවන්තයින්ව සිහින රහිත නින්දට යොමු කරන තුරුම.... තම ජීවිතය නොනවතින අරගලයක් බවට පත්ව ඇති අති විශාල පිරිසක් තවමත් අප අතර සිටී නම්, මුලුමනින් ම ඊට හේතු වී ඇත්තේ අප ජීවත් වන, යල් පැන ගිය සමාජ ක්‍රමයයි; වෙහෙස මහන්සි වී වැඩ කරන ජනතාවගේ පමනක් නොව, සමස්ත මානව වර්ගයාගේම යහපත උදෙසා එම ක්‍රමය අහෝසි කල යුතුය.”

1853 දී නිව් යෝර්ක් ඩේලි ට්‍රිබියුන් පුවත්පතට ලියූ ලිපියක, අපරාධවල මූලය ධනවාදී සමාජ ක්‍රමය තුල පිහිටුවාලමින් කාල් මාක්ස් මෙසේ ප්‍රශ්න කලේ ය:

“නව අපරාධකරුවන් බිහිවීම සඳහා ඉඩ සලසමින් අපරාධකරුවන් විශාල සංඛ්‍යාවක් මරා දමන අලුගෝසුවා උත්කර්ෂයට නැංවීම වෙනුවට, මෙවැනි අපරාධ බිහි කරන ක්‍රමය වෙනස් කිරීම පිලිබඳව ගැඹුරින් සිතා බැලීමේ අවශ්‍යතාවක් නොමැති ද?”

1764 දී බුද්ධිවාදී චින්තක ඉංග්‍රීසි ජාතික සීසර් බෙකාරියා ලියා දැක්වූයේ, මරන දන්ඩනය යනු යුක්තිය ඉටු කිරීමක් නොව, විනාශ කිරීම ප්‍රයෝජනවත් හෝ අත්‍යවශ්‍ය යැයි තීරනය කල පුරවැසියෙකුට එරෙහි ව සමස්ත ජාතිය ම දියත් කරන “යුද්ධයක්” බවයි. මරන දන්ඩනය ක්‍රියාත්මක කිරීම තුලින්, රාජ්‍යය විසින් තම පුරවැසියන්ට තහනම් කර ඇති ක්‍රියාවක් සිදු කරන අතර ආදර්ශය මගින් කෲරත්වය උගන්වනු ලබයි. බෙකාරියාගේ එම ප්‍රකාශයට එක් කල යුතු නිවැරදි කිරීමක් තිබේ: එනම්, එය “පාලක පන්තිය විසින් පුද්ගලයෙකුට එරෙහි ව දියත් කරන යුද්ධයක්” බවයි.

සමාජවාදී සමානතා පක්ෂය මෙම සම්ප්‍රදායන් මත පිහිටා කටයුතු කරයි. වරදකරුවන් මෙන් ම නිර්දෝෂී පුද්ගලයන් සම්බන්ධයෙන් ද මරන දඬුවම ක්‍රියාත්මක කිරීමට අපි කොන්දේසි විරහිත ව විරුද්ධ වෙමු. යොවුන් වියේ දී බිහිසුනු අපරාධයක් සිදු කල ක්‍රිස්ටා පයික් යනු, කුඩා කල ඇයට කිව නොහැකි තරම් හිංසනයන්ට මුහුන දීමට සිදුවන තත්වයන් නිර්මානය කල, සෑම දුෂිකරතාවයක දී ම ඇයව අත්හැර දැමූ සහ අවසානයේ එය විසින්ම උත්පාදනය කල ප්‍රචන්ඩත්වයට එරෙහි ව මරන දඬුවම ක්‍රියාත්මක කිරීමේ එන්නත මගින් ප්‍රතිචාර දැක් වූ සමාජයක ම නිර්මානයක් වූවාය.

මරන දන්ඩනය අහෝසි කිරීමේ අරගලය, මෙම බිහිසුනු ක්‍රියාවලියේ සෑම අදියරකට ම අනුමැතිය ලබා දුන් අධිකරනවලට හෝ දශක ගනනාවක් තිස්සේ රාජ්‍ය අනුග්‍රහය ලබන ඝාතනවලට සහාය පල කල සහ ට්‍රම්ප් විසින් එම ක්‍රියාවලිය පුලුල් කිරීමට පියවර ගනිද්දීත් නිහඬ ව සිටින ඩිමොක්‍රටික් පක්ෂයට හෝ භාර දිය නොහැක. එය අසමානතාවය, යුද්ධය සහ පොලිස්-රාජ්‍ය ප්‍රචන්ඩත්වයට එරෙහි ව කම්කරු පන්තිය ගෙන යන අරගලයේ, එනම් ධනවාදී ක්‍රමයට ම එරෙහි අරගලයේ කොටසකි.

Loading