[මෙය With complicity of media and Democrats, Trump prepares major escalation of Iran war යන මැයෙන් 2026 ඔක්තෝබර් 04 දින ඉංග්රීසියෙන් පල විය.]
එක්සත් ජනපද නාවික හමුදාව විසින් නිකුත් කරන ලද මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ, 2024 ජූලි 4 වන දින දකුනු චීන මුහුදේ දී, නිමිට්ස් පන්තියේ ගුවන් යානා ප්රවාහන නෞකාවක් වන යූඑස්එස් තියඩෝර් රූස්වෙල්ට් හි ගුවන්ගත කරන ඩෙක් තට්ටුව මත යුද ගුවන් යානා රඳවා ඇති ආකාරයයි. [ඒපී ඡායාරූප/නාවික සෙබල රයන් හොලොවේ]
පසුගිය සතියේ සිදුවීම්වලින් පැහැදිලි වන්නේ, සමස්ත එක්සත් ජනපද දේශපාලන ව්යුහයේ ම සහයෝගය ඇති ව, ට්රම්ප් පරිපාලනය ඉරානයට එරෙහි යුද්ධය දැවැන්ත ලෙස උත්සන්න කිරීමට සූදානම් වෙමින් සිටින බවයි. දැවැන්ත ගුවන් ප්රහාර මාලාවකින් පසු එම රට අවහිර කිරීම මගින් තම අරමුනු සාක්ෂාත් කර ගැනීමට අසමත් වූ ධවල මන්දිරය නව සහ මංමුලා සහගත පියවරක් ගැනීමට සූදානම් වෙමින් සිටී; මෙයට ගොඩබිම් හමුදා යෙදවීම හෝ න්යෂ්ටික අවි භාවිතය පවා ඇතුලත් විය හැකිය.
වඩාත්ම බරපතල අනතුර පවතින්නේ, සූදානම් කෙරෙමින් පවතින ක්රියාමාර්ගවල පරිමානයත්, ඒ පිලිබඳ ව මහජනතාව තුල ඇති දැනුවත්භාවයත් අතර ඇති පරතරය තුල ය. 2026 අතරමැදි මැතිවරනයට මාසයකට පෙර, යුද්ධය උත්සන්න කිරීම සඳහා ට්රම්ප් විසින් ගෙන යනු ලබන කුමන්ත්රනය හමුවේ ඇමරිකානු මාධ්ය මෙන් ම—මෙම සති අන්තයේ විකාශය වූ සන්ඩේ ටෝක් ෂෝ සාකච්ඡාමය වැඩසටහන් තුල යුද්ධය වෙනුවෙන් වෙන් කර තිබුනේ මිනිත්තු කිහිපයක් පමනි—ඩිමොක්රටික් පක්ෂය ද දැඩි නිහඬතාවක් අනුගමනය කරමින් සිටී; ඉරානයට එරෙහි ව පරිපාලනය සූදානම් කරමින් පවතින නව ප්රහාරය පිලිබඳ ව මහජනතාව දැනුවත් කිරීමට ඩිමොක්රටික් පක්ෂය කිසිදු පියවරක් ගෙන නොමැත.
සැප්තැම්බර් 22 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ පැවති සිය දේශනයේ දී, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්, ඉතා ඉක්මනින් ම ඉස්ලාමීය සමූහාන්ඩුව සහමුලින් විනාශ කර දැමීමට තර්ජනය කලේ ය. මෙම තර්ජනයට පෙර, ධවල මන්දිරයේ පැවති රහසිගත හමුවක් පිලිබඳ ව මාධ්යවේදී සේමූර් හර්ෂ් විසින් ජූනි 10 වන දින වාර්තා කර තිබූ අතර, එහි දී ට්රම්ප්, 'යුද්ධය වඩාත් ඉක්මනින් අවසන් කිරීමට ඉවහල් විය හැකි න්යෂ්ටික විකල්පයක්' පිලිබඳ ව අදහස් දක්වා තිබුනි.
මෙම තර්ජන පුරාජේරු කතා ලෙස නිකම් ම බැහැර කල නොහැකි ය. ට්රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වන අතර මාස ගනනාවක් පුරා ඉරානයට බෝම්බ හෙලීමෙන් දැනටමත් දහස් ගනනක් මිනිසුන් මරා දමා ඇත. දැන් පර්සියානු ගල්ෆ් කලාපයේ එක් රැස් වන බලවේග ඔහුගේ තර්ජන ක්රියාත්මක කිරීමට ඔහුට මාධ්යයන් සපයයි. උදාසීනත්වයට වඩා භයානක දෙයක් තවත් නැත.
මාස හතක යුද්ධයකින් පසු ව ද, හෝර්මුස් සමුද්ර සන්ධිය මත ආධිපත්යය දැරීමේත්, ඉරානය හමුදාමය වශයෙන් පරාජය කර එහි ආන්ඩුව පෙරලා දැමීමේත් තම අරමුනු සාක්ෂාත් කර ගැනීමට එක්සත් ජනපද අධිරාජ්යවාදය සමත් වී නොමැත. මෙම යුද්ධය විසින් නිර්මානය කරන ලද දේශපාලන ව්යසනයෙන් වහ වහා ගැලවීමේ මාවතක් සොයමින්, එරට පාලනාධිකාරිය හදිසි, මංමුලාසහගත පියවර වෙත යොමු වෙමින් සිටී. එහෙත් ඔවුන්ගේ එම ක්රියාමාර්ග තීරනය වන්නේ සිදුවීම්වල ගමන් මග මත ය. පර්සියානු බොක්ක කලාපයේ දී පරාජයක් පිලිගැනීමට ඇමරිකානු අධිරාජ්යවාදයට නොහැකි අතර, එහි දී සිදුවන සෑම අසාර්ථකත්වයක් ම ගැටුම තව දුරටත් උත්සන්න කිරීමට පදනම සපයයි.
පසුගිය සතියේ වෝල් ස්ට්රීට් ජර්නලය සහ ඇසෝසියේටඩ් ප්රෙස් වාර්තා කලේ, ධවල මන්දිරය මැද පෙරදිගට තුන්වන ගුවන් යානා ප්රවාහන නෞකාවත් යවා ඇති බවයි. යූඑස්එස් තියඩෝර් රූස්වෙල්ට් නෞකාව සැප්තැම්බර් 27 වන දින සැන් ඩියාගෝ වෙතින් පිටත් වූ අතර, ඊලඟ දිනයේ මැරීන් භටයින් 2,200 ක් පමන සමඟ යූඑස්එස් මැකින් අයිලන්ඩ් නම් උභයචර (amphibious) ප්රහාරක නෞකාව පිටත් විය. ඔවුන්, යූඑස්එස් ජෝර්ජ් වොෂින්ටන් නෞකාවත්, කලාපය පුරා යොදවා ඇති 50,000 කට අධික එක්සත් ජනපද භට පිරිසත් සමඟ එක්වනු ඇත.
'නොවැම්බර් කොංග්රස් මැතිවරනයෙන් පසු ඉරානයට බෝම්බ හෙලීම නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ට්රම්ප් සහායකයින්ට පවසා තිබේ' යනුවෙන් ජර්නලය සැප්තැම්බර් 25 වන දින වාර්තා කලේ ය. 'හෝමූස් අසල ඉරාන දූපත් අල්ලා ගැනීම සඳහා ගොඩබිම් හමුදා යැවීම' ඇතුලු විකල්ප පිලිබඳ ව අගෝස්තු මාසයේ දී ඔහුට දැනුම් දුන් බවට, ජර්නලය පසුගිය මාසයේ වාර්තා කලේ ය.
උභයචර ප්රහාරක නෞකා සහ දහස් ගනනක් නාවික භටයින් යෙදවීම කිසිසේත් සුබ ලකුනක් නොවේ. මෙවැනි බලකායන් භූමි ප්රදේශ අත්පත් කර ගැනීම සඳහා යොදා ගැනෙන අතර, යුද්ධයේ මීලඟ අදියරට හෝර්මුස් අසල දූපත්, කාර්ග් දූපතේ තෙල් පර්යන්තය හෝ ඉරානයේ න්යෂ්ටික මධ්යස්ථාන වෙත හමුදා ගොඩබෑම ඇතුලත් විය හැකි ය.
'ඉරානය සමගත්, යේමනයේ සෞදි-හූති කැරලිකරුවන් සමගත් ගැටුම්වල මීලඟ පියවරයන් පිලිබඳ ව සාකච්ඡා කිරීමට' පරිපාලනයේ ඉහල ම ජාතික ආරක්ෂක නිලධාරීන් පිරිසක් සිකුරාදා (සැප්තැම්බර් 02) දින ජනාධිපතිවරයාගේ විවේකී නවාතැන වන කෑම්ප් ඩේවිඩ් හි දී හමු වූ බව ඇක්සියෝස් පුවත් සේවය එදින රාත්රියේ වාර්තා කලේ ය. ඊශ්රායලය සහ ඉන් අනතුරු ව එක්සත් ජනපදය විසින් ඉරානයට ප්රහාර එල්ල කිරීමට දින කිහිපයකට පෙර, එනම් 2025 ජූනි මාසයේ දී මෙ වැනි ම හමුවක් පැවැත්වුනු බව ද ඇක්සියෝස් පෙන්වා දුන්නේ ය. ඉරානය ඉලක්ක කරගනිමින් සිදු කෙරෙන නව එක්සත් ජනපද හමුදා යෙදවීම්, එක්සත් ජනපදයේ සහාය ලබන සෞදි අරාබිය විසින් යේමනයේ දියත් කර ඇති නව ප්රහාරක මෙහෙයුම්වලට සමගාමී ව සිදුවන්නකි.
ඉරානයට එරෙහි ප්රහාර සඳහා යොදා ගැනුනු, බ්රිතාන්යයේ ෆෙයාර්ෆර්ඩ් ගුවන් හමුදා කඳවුරේ තිබූ සියලු ම ඇමරිකානු බෝම්බ හෙලන යානා නැවත එක්සත් ජනපදය වෙත ගෙන ගිය බව පෙන්ටගනය ඉරිදා තහවුරු කලේ ය. එම කඳවුරට එරෙහි ව සැලසුම් කල බව කියන කුමන්ත්රනයක දී ඉරානය 'යම් කාර්යභාරයක් ඉටු කල' බවට බ්රිතාන්ය අගමැති ඇන්ඩි බර්න්හැම් සැප්තැම්බර් 30 වන දින කල ප්රකාශයෙන් අනතුරු ව මෙම යානා ඉවත් කරගැනීම සිදු විය. තහවුරු නොකල මෙම චෝදනාව, ගැටුම් උත්සන්න කිරීම සඳහා සාදා-නිමකල නිදහසට කරුනක් සපයයි.
ඉරානයට එරෙහි යුද්ධය යනු රුසියාව සහ චීනය ප්රධාන වශයෙන් ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපද අධිරාජ්යවාදය විසින් දියත් කරනු ලබන පුලුල් ගෝලීය ප්රහාරයක කොටසකි. වැදගත් කරුනක් වන්නේ, ඉරානය සම්බන්ධ යුද්ධය පුලුල් කිරීමේ සැලසුම්වලට සමගාමී ව, යුක්රේනයේ දී රුසියාවට එරෙහි ව නැටෝ සංවිධානය ගෙන යන යුද්ධය ද දැඩි ලෙස උත්සන්න වෙමින් පැවතීමයි; මෙය ඕනෑ ම මොහොතක න්යෂ්ටික අවි සතු රාජ්යයන් අතර සෘජු යුද්ධයක් දක්වා වර්ධනය වීමේ තර්ජනය මතු කරයි.
1979 ඉරාන විප්ලවයේ සිට බලයට පැමිනි ඩිමොක්රටික් සහ රිපබ්ලිකන් යන දෙ පාර්ශ්වයේ සෑම ජනාධිපතිවරයෙකු ම, ඉරානය නැවතත් ඇමරිකානු ආධිපත්යය යටතට ගෙන ඒම සඳහා කටයුතු කර ඇත. මැද පෙරදිග සහ මධ්යම ආසියාව යටත් කර ගැනීමේ අරමුනින් වසර 35 ක් පුරා ක්රියාත්මක වූ ආක්රමනශීලී ක්රියාමාර්ග මාලාවේ නව ත ම අදියර වන්නේ, ට්රම්ප් ඉරානයට එරෙහි ව ගෙන යන යුද්ධයයි; 1991 ගල්ෆ් යුද්ධය, ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය ආක්රමනය කිරීම, ලිබියාව විනාශ කිරීම, සිරියාවේ ක්රියාත්මක වූ වක්ර යුද්ධය සහ ගාසා තීරයේ දී ඊශ්රායලය විසින් සිදු කරන ලද ජන සංහාරය එම ක්රියාමාර්ග මාලාවට අයත් වේ.
යුද්ධයට එරෙහි ව පවතින දැඩි මහජන විරෝධය සහ ඉන් අනතුරු ව ජීවන වියදම, විශේෂයෙන් ම බලශක්ති මිල ගනන් ඉහල යාම මධ්යයේ, නොවැම්බර් 3 වන දින ඩිමොක්රටික් පක්ෂය සැලකිය යුතු වාසි අත්කර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, මැතිවරනමය වශයෙන් ට්රම්ප් සම්බන්ධ ඕනෑ ම ප්රතික්ෂේප කිරීමක්, මැද පෙරදිග කලාපය තුල එක්සත් ජනපද අධිරාජ්යවාදය ගෙන යන ක්රියාමාර්ගවල අඩුවීමකට මඟ නොපාදන බව තහවුරු කිරීමට ඩිමොක්රටිකයෝ අධිෂ්ඨානසහගත ව සිටිති.
සැප්තැම්බර් 30 වන දින, ඇරිසෝනා හි සෙනෙට් සභික රූබන් ගැලෙගෝ සීඑන්එන් වෙත පැවසූ පරිදි, ඩිමොක්රටිකයින්ගේ ප්රතිපත්තිය වන්නේ “මෙම යුද්ධය ජය ගැනීම” යි. ට්රම්ප් “හෝමූස් සමුද්ර සන්ධියේ පාලනය සඳහට ම ඉරානයට පවරා නොදෙන ආකාරයේ සක්රීය සැලැස්මක් ඉදිරිපත් කල යුතු බව,” පෙන්ටගනයේ, විසර්ජන (Appropriations) පිලිබඳ ජ්යෙෂ්ඨ ඩිමොක්රටික, ඩෙලවෙයාර් හි සෙනෙට් සභික ක්රිස් කූන්ස් බ්රහස්පතින්දා (01) සීඑන්එන් වෙත පැවසී ය. හිටපු නාවික හමුදා නියමුවෙකු වන ඇරිසෝනා හි ඩිමොක්රටික් සෙනෙට් සභික මාර්ක් කෙලී සැප්තැම්බර් 27 වන දින ඒබීසී හි “දිස් වීක්” වැඩසටහනේ දී ට්රම්ප්ට දෝෂාරෝපනය කරමින්, “අපට සමුද්ර සන්ධියේ පාලනය ඉරානුවන් අත පැවතීමට ඉඩ දිය නොහැකි” බව පැවසී ය.
පක්ෂයේ කොංග්රස් නායකයින් කිසිවෙකු නව මිලිටරි ගොඩබැස්සීම් නතර කරන ලෙස ඉල්ලා නැත. ඒ වෙනුවට, හිටපු කථානායක නැන්සි පෙලෝසි ඇතුලු නියෝජිත මන්ත්රී මන්ඩල ඩිමොක්රටිකයින් 58 දෙනෙකු සැප්තැම්බර් 16 වන දින, රුසියාවට එරෙහි ව ට්රම්ප්ගේ තීරුබදු බලතල පුලුල් කරන සහ ඉරානයට එරෙහි සම්බාධක දීර්ඝ කරන පනතකට පක්ෂ ව රිපබ්ලිකානුවන් සමඟ ඡන්දය දුන්හ. පක්ෂය “ජාතික ආරක්ෂක පසුබිමක් සහිත, පසුගිය මැතිවරන හතරෙන් ඕනෑ ම එකකට තරඟ කල සංඛ්යාව මෙන් දෙ ගුනයකටත් වඩා වැඩි කොංග්රස් අපේක්ෂකයින් සංඛ්යාවක්,” එනම් 67 දෙනෙකු ඉදිරිපත් කරන බව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය පසුගිය සතියේ ආරම්භ වූ ලිපි මාලාවක වාර්තා කලේ ය. මැතිවරනයෙන් පසු, ලොව පුරා යුද්ධය උත්සන්න කිරීම සඳහා ට්රම්ප් සමඟ කටයුතු කිරීමට ඩිමොක්රටික් පක්ෂය අදහස් කරයි.
යුද්ධයට එරෙහි විරෝධය අතිමහත් ය, නමුත් මාධ්ය, ඩිමොක්රටික් පක්ෂය සහ ඇමරිකානු ප්රජාතන්ත්රවාදී සමාජවාදීන් (DSA) එය ක්රියාවට නැංවීම වැලැක්වීමට කටයුතු කරමින් සිටී. යුද විරෝධී හැඟීම් බලමුලු ගැන්වීමේ දී DSA තීරනාත්මක කාර්යභාරයක් ඉටු කරයි. එයට අනුගත ජැකොබින් සඟරාව, මැතිවරනයෙන් පසු ඉරානයට පහර දීමේ ට්රම්ප්ගේ සැලසුම් වාර්තා කර නොමැති අතර, වර්මොන්ට්හි සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් හෝ DSA සාමාජිකයෙකු වන නිව් යෝර්ක්හි නියෝජිත ඇලෙක්සැන්ඩ්රියා ඔකාසියෝ-කෝර්ටෙස් ඒ පිලිබඳ ව ප්රකාශයක් නිකුත් කර නොමැත.
විදේශයන්හි යුද්ධය උත්සන්න වීමත් සමඟ ම, කම්කරු පන්තියට එරෙහි ව දේශීය ප්රහාරයක් ද එල්ල වෙමින් පවතී. යුද්ධය හේතුවෙන් ඇති වූ මිල ඉහල යාම, කම්කරුවන්ගේ ජීවන තත්වයන් විනාශකාරී ලෙස පහත වැටීමට හේතු වී තිබේ. AAA ආයතනයේ දත්තවලට අනුව, යුද්ධය ආරම්භ වීමට පෙර දින ඩොලර් 3.76 ක් ව පැවති ඩීසල් ගැලුම ඉරිදා වන විට ඩොලර් 6.34 ක් දක්වා ඉහල ගොස් ඇත.
රට “යුද්ධවල නිරත ව” සිටින බැවින්, “දිවා සුරැකුම් මධ්යස්ථාන, මෙඩිකේඩ් සහ මෙඩිකෙයාර් වැනි විවිධ ක්ෂේත්රවල අවශ්යතා ගැන සොයා බැලීම කල නොහැකි” බව ට්රම්ප් අප්රේල් 1 වන දින ප්රකාශ කලේ ය. ආරක්ෂක අංශ සඳහා නොවන වියදම් සියයට 10 කින් කප්පාදු කරන අතර ම, 2027 මූල්ය වර්ෂය සඳහා ඩොලර් ට්රිලියන 1.5 ක හමුදා අයවැයක් වෙන් කරන ලෙස ධවල මන්දිරය කොංග්රසයෙන් ඉල්ලා තිබේ. මෙම යුද අයවැය සහ සමාජ සුභසාධන වැඩසටහන්වලට එල්ල කරන ප්රහාර යනු එක ම පන්ති පිලිවෙතක කොටස් වේ.
යුද්ධයට සහ එහි විනාශකාරී ආර්ථික ප්රතිවිපාකවලට එරෙහි අරගලය, එක්සත් ජනපද අධිරාජ්යවාදයේ කොල්ලකාරී අරමුනු වෙනුවෙන් පූර්න කැපවීමෙන් ක්රියා කරන ඩිමොක්රටික් පක්ෂයට යටත් කල නොහැක. ඉරානයට එරෙහි යුද්ධය අවසන් කිරීමටත්, ඇමරිකානු අධිරාජ්යවාදයේ ගෝලීය ව්යාප්තිය නැවැත්වීමටත් අවශ්ය වන්නේ, රැකියා සහ ජීවන තත්ත්වයන් ආරක්ෂා කරගැනීමේ අරගලය, යුද්ධයට එරෙහි අරගලය සමඟ ඒකාබද්ධ කිරීමට උත්සාහ කරන සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් ව කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමයි.
