මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ජවිපෙ/ජාජබ ආන්ඩුව රැක ගැනීමේ අවශ්‍යතාවය ගැන දෙමල ජනතාවට අවධාරනය කරයි

ජනබල සාමුහිකය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වන සංසදය සංවිධාන “ආන්ඩුවට වසර දෙකයි ජනතාවට ගමන සුභ ද?” යන මැයෙන් යාපනයේ චෙල්වනායගම් අනුස්මරන මධ්‍යස්ථානයේ දී පැවැත්වූ “සංවාදය” එම සංවිධානය මෙහෙයවන කන්ඩායම ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ආරක්ෂා කිරීමට ගෙනයන කෛරාටික දේශපාලන ක්‍රියාකලාපය හෙලිදරවු කල අවස්ථාවක් විය. 

ජනබල සාමුහිකය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වන සංසදය සංවිධාන “ආන්ඩුවට වසර දෙකයි ජනතාවට ගමන සුභ ද?” යන මැයෙන් යාපනයේ චෙල්වනායගම් අනුස්මරන මධ්‍යස්ථානයේ දී පැවැත්වූ සංවාදයේ දී අදහස් දක්වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

කොලඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද හා විදර්ශන කන්නන්ගර ඇතුලු කන්ඩායමක් ජනබල සාමුහිකය ආරම්භ කලේ 2024 ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත් වී වැඩි කලක් යන්නට පෙර ය. 

සංවාද සභාවේ ප්‍රධාන කථිකයන් වූයේ ජනබල සාමුහිකයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ විදර්ශන කන්නන්ගරයි. ප්‍රතිමාක්ස්වාදී සංකල්ප ආනයනය කරමින් දක්ෂිනාංශික ආන්ඩුවලට වහන්තරාවන් සැපයීම සම්බන්ධයෙන් කුප්‍රකට මේ කන්ඩායම දැන් ජවිපෙ ආන්ඩුව විවේචනවලින් රැක ගැනීම පිනිස වැඩට බැස ගෙන සිටියි. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලංකාවේ මහා ව්‍යාපාරිකයන්ගේ ඒජන්සියක් ලෙස ක්‍රියාකරන ආන්ඩුව ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතිය ගෙන යාම දුෂ්කර බැවින් ඔවුන් තෝරා ගෙන ඇත්තේ ජවිපෙට පිටස්තර ව සිටින බව අඟවමින් එහි ක්ෂමාලාපීන් වීමේ භූමිකාවයි. තම අදහස් දැක්වීම අරඹමින් “තමන් ආන්ඩුවේ සාමාජිකයන් නොවන” බව  අවධාරනය කල දේවසිරි “පරාජයට පත් කල දේශපාලන පන්තිය නැවත බලයට පැමිනීමට” තමන් විරුද්ධ යැයි කියා සිටියේ ය.

“පරාජිත බලවේග නැවත ඉදිරියට ඒමට දරන උත්සහයට ඉඩ නොදෙමින් 2022 අරගලය තුලත් 2024 මැතිවරන තුලත් මහජන අභිලාෂ ආරක්ෂා කර ගැනීමේ කතිකාවක් සඳහා එම අදහස දරන දේශපාලන ක්‍රියාකාරීන්ගේ මැදිහත් වීමක්” වශයෙන් දේවසිරි තම සංවිධානය හඳුන්වා දුන්නේ ය. ජවිපෙ නායකත්වය දෙන ආන්ඩුව මහජනයාගේ “ප්‍රගතිශීලි අභිලාෂයන් ගේ ප්‍රකාශනයක්” ලෙස එ ලෙස තර්ක ගෙතූ මහාචාර්ය දේවසිරි සිය කතාව අවසානයේ මෙසේ සඳහන් කලේ ය: 

“1956න් පසු ශ්‍රී ලංකාවේ දේශපාලනය සිංහල-බෞද්ධ ව්‍යාපෘතියක් ලෙස සැලකිය හැකි දිශාවකට හැරීමේ දී, රටේ වෙසෙන අනෙකුත් ජනවාර්ගික ප්‍රජාවන්ගේ ගැටලු හා අභිලාෂයන්ට සවන් දෙමින් ඒවාට විසඳුම් සෙවීමේ මාවතක් ඔස්සේ එම දේශපාලන පරිවර්තනය සිදු වූයේ නැත.”

“එහි ප්‍රතිඵලයක් ලෙස, සිංහල-බෞද්ධ මතවාදය දකුනේ ජනතාවගේ සිත්සතන් තුල ගැඹුරින් මුල් බැසගෙන ඇති අතර, එය ඔවුන් ජාතිකවාදීන් සහ ආගමික මූලධර්මවාදීන් බවට පත් කිරීමට බලපා තිබේ.”

“සිංහල-බෞද්ධ මතවාදී රාමුවෙන් පිටත සිටින ජන කොටස්වලට සිය දේශපාලන අභිලාෂයන් පිලිබඳ ව සාකච්ඡා කිරීමට මෙතෙක් ලැබී ඇත්තේ සීමිත අවස්ථා කිහිපයක් පමනි. එහෙත්, එ වැනි සාකච්ඡා සඳහා හිතකර පරිසරයක් දැන් නිර්මානය වී තිබේ. එබැවින්, සංවාදය සඳහා උදා වී ඇති මෙම අවකාශය ආරක්ෂා කර ගැනීම අතිශය වැදගත් ය.”

දෙවසිරිගේ තර්ක ගෙතීම පට හැර ගත් කල මෙසේ ය: දෙමල ජනතාවට තම දේශපාලන අභිලාශයන් සාකච්ඡා කිරීමට ජවිපෙ/ජාජබ ආන්ඩුව යටතේ අවකාශ ලැබී තිබේ. මෙම අවකාශය ආරක්ෂා කර ගැනීම සඳහා ආන්ඩුව ආරක්ෂා කර ගැනීම දෙමල ජනයාගේ වගකීමයි. නැතහොත් “සිංහල-බෞද්ධ” කන්ඩායම් නැගී එනු ඇත. 

දේවසිරිගේ ප්‍රකාශ වනාහි, සිංහල-බෞද්ධ බිල්ලා මවා පෙන්වා දෙමල මහජනයා අසික්කිත ලෙස බිය ගැන්වීමේ තැතකි.     

ජවිපෙ/ජාජබ 2024 මැතිවරනවලින් ජය ගැනීමෙන් 2022 මහජන නැගිටීමේ අභිලාෂයන්ට ප්‍රකාශනයක් ලැබුනා නොව, ඊට හාත්පසින් ම ප්‍රතිවිරුද්ධ ලෙස සිදුවන්නේ, සම්ප්‍රදායික ධනපති පක්ෂ කෙරෙහි මහජනතාව තුල ගොඩනැගුනු වෛරය ගසා කා, ජාතික ජන බලවේගය ලෙස නම වෙනස් කල ජවිපෙ බලයට ගෙනැවිත් පෙර පැවති ධනපති ආන්ඩුවල වැඩපිලිවෙල වේගවත් කර ගෙන යාමයි. 

මහජන නැගිටීම ආරම්භයේ දී ම, එය රට තුල “අරාජකත්වයේ වර්ධනය වීමක්” ලෙස පාර්ලිමේන්තුවේ දී පහර ගැසූ දිසානායක, ආන්ඩුවෙන් හා අනෙක් පක්ෂවලින් ඉල්ලා සිටියේ එය නතර කිරීමට එක්වන ලෙසයි. ඉන් අනතුරු ව, මහජන අරගලය වැඩි යද්දී ජවිපෙ/ජාජබ ඉල්ලා සිටියේ ආන්ඩුව ඉවත් වී, ශ්‍රී ලංකා පොදු පෙරමුන ආන්ඩු පක්ෂය හා විපක්ෂයේ සමගි ජන බලය (සජබ) හා දෙමල පක්ෂ හා තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ලත් අන්තර්වාර ආන්ඩුවක් පිහිටුවා තත්වය සමනය කරගෙන මහ මැතිවරනයකට යා යුතු බවයි.  

2022 මහජන අරගලයෙන් ප්‍රකාශයට පත් වූයේ පොදු මහ ජනතාවගේ ආර්ථික සමාජ ජීවිත මත ධනපති දේශපාලනයේ ආධිපත්‍යයෙන් මිදී ගැනීමට ඔවුන්ට පැවති අවශ්‍යතාවයි. “ගෝඨා ගෝ හෝම්” සහ “පාර්ලිමේන්තුවේ 225ම එපා” යන සටන් පාඨ පිටුපස පැවතියේ එයයි. මේ අරගල ව්‍යාපාරය වෘත්තීය සමිති විසින් කම්කරු පන්තිය සටනට පිවිසීම අවහිර කිරීම තිබිය දී ම ලංකාවේ ධනපති පන්ති පාලනයේ පදනම් දෙදරවා ලී ය. 

දේවසිරි මහජන අරගලයේ දී සිට ගත්තේ ඊට පක්ෂපාතී ව නොවේ. ඔහුගෙන් ප්‍රකාශයට පත් වූයේ ඒ පිලිබඳ ව නරුම ආකල්පයකි. දැන් විලි ලජ්ජාවකින් තොර ව ජවිපෙ දූෂන විරෝධය ඔජ වඩන දේවසිරි මහජන අරගලය මැද්දෑවේ ගෝඨාභය රාජපක්ෂට ඔහුගේ පාලනය රැක ගැනීමට උපදෙස් දෙමින් අප්‍රේල් 14 වැනි දා “ලංකාවේ ගැඹුරු සමාජ-දේශපාලන පරිවර්තනයක් සදහා ගෝඨා පාලනය තව කල් රැකගනිමු” යන මැයෙන් ෆේස්බුක් සටහනක් තබමින් කියා සිටියේ “2024 දී ත් ගෝඨා ජනාධිපති වනු දැකීමට කැමති අය (මම ද ඉන් එක් අයෙක්මි) කල යුතු දෙයක් ඇත. රාජපක්ෂ පවුලේ ධනය පිලිබද නිසි විගනනයක් කොට දැන් එල්ලවන (බොහෝ විට අධිතක්සේරුවකට ලක් කර ඇති) අයථා ධන සමුච්ඡකරනය පිලිබඳ චෝදනා වලින් නිදහස් වීමට කටයුතු කරන්නැයි ආන්ඩුවට බලපෑම් කිරීමයි” යනුවෙනි. 

නැවත බලයට ඒම වැලැක්විය යුතු යැයි කියන දේශපාලකයන් ගැන මහජන අරගලය මැද්දෑවේ දේවසිරි ලියුවේ එ ලෙසිනි. ඔහු අවසානයේ ජවිප/ජාජබ හා සජබ ඉල්ලා සිටි ආකාරයේ අන්තර්වාර ආන්ඩුවක් පිහිටුවීමට සහයෝගය පල කලේ ය. 

බලයට පැමින වසර දෙකකට පසු තම ජීවන කොන්දේසි ඛාදනය කිරීම සම්බන්ධයෙන් මහජනතාව තුල ජවිපෙ ආන්ඩුව සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයක් පැන නැගී ඇත. සියයට 22ක ජනතාවක් දරිද්‍රතාවයට ඇද වැටී තිබෙද්දී මහ සමාගම් නැවත නැවතත් වාර්ෂික ව ඉහල ලාභයන් වාර්තා කර ඇත. දිසානායකගේ ආන්ඩුව විදේශ නය ගෙවීම යලි ආරම්භ කිරීමට භාන්ඩාගාරය පුරවා ගෙන ඇත්තේ අර්බුදයේ බර කම්කරු පීඩිත මහජනතාව මත පටවමිනි.

“ඔබලා කියන්නේ ආන්ඩුව මොනවා කලත් ආන්ඩුව රකින්නට කියා දැයි” තමන්ගෙන් ඇතැම් මිතුරන් ප්‍රශ්න කරන බව දේවසිරි රැස්වීමේ දී ප්‍රකාශ කලේය. ආන්ඩුවේ පොරොන්දු සහ ඒවා ඉටු කිරීමේ ප්‍රායෝගිකත්වය පිලිබඳ ප්‍රශ්නය තේරුම් ගත යුතු බව කියා ප්‍රශ්නයට තක්කඩි ශාස්ත්‍රාලික වහන්තරාවක් දැමූ ඔහු ඇඟවූයේ “මොනවා කලත් ආන්ඩුව රැකිය යුතු” බවයි. 

වෙරිටෙ රීසර්ච් විසින් සිදු කරන ලද සමීක්ෂනයකට අනුව පෙබරවාරි මාසයේ සියයට 65ක් ව පැවති ආන්ඩුවේ ජනප්‍රියතාවය ජූලි වන විට සියයට 50 දක්වා පහත වැටී ඇත. සියලල්ටත් වඩා මහජන අතෘප්තිය සම්බන්ධයෙන් ඇති හොඳ ම දර්ශකය වන්නේ දිනෙන් දින වර්ධනය වන පන්ති ආතති තත්ත්වයි. පන්ති අරගල පුපුරා යාම සීමා වී ඇත්තේ වෘත්තීය සමිති නිලධරය එයට තිරිංග ලා ගෙන සිටින නිසා ය.

අනෙක් අතින් පන්ති අරගලවලට එරෙහි ව ආන්ඩුව මර්දනය මුවහත් කරමින් සිටියි. පන්ති සටන්වලට එරෙහි ව දක්ෂිනාංශික මැර කල්ලි දිගේලි කිරීමට ආන්ඩුව එල්ල කරන විෂ ප්‍රචාරය වන්නේ ඒවා “බලයෙන් පහ කරන ලද දූෂිත දේශපාලකයන්” ගේ කුමන්ත්‍රන යන්නයි. ආන්ඩුවට එරෙහි සියලු ම විරුද්ධත්වයන් එක ගොඩට දැමීමෙන් දේවසිරි ආන්ඩුවේ මර්දනය පසුපස පෙල ගැසෙයි. 

මේ තත්ත්වය තුල ජනාධිපති දිසානායක වැඩෙන මහජන විරෝධය සමනය කර ගැනීමට රට පුරා රැලි අමතමින් යයි. දේවසිරි ඇතුලු නඩය එයට අනුපූරක ව සහය ගොඩ නැගීමට මෙම වෑයමට බැස සිටියි. 

ඉතිහාසය පිලිබඳ මහාචාර්ය තුමා, ඔහුගේ මාක්ස්වාද විරෝධී පශ්චාත් මාක්ස්වාදී ආඛ්‍යානයට අනුව, 1956න් පසු ලංකාවේ සිංහල බෞද්ධ ව්‍යාපෘතියකට අනුව දේශපාලනය හැරී ගොස් ඇතැයි ප්‍රකාශ කිරීමෙන් කර ඇත්තේ ඉතිහාසය මුලුමනින් ම කනපිට හැරවීමයි. පන්ති සමාජය හා පන්ති අරගලය ප්‍රතික්ෂේප කරන දේවසිරි, ධනපති පාලක පන්තිය සිය පන්ති පාලනය රැක ගැනීමට, කම්කරු පන්තිය භේද කිරීම සඳහා දෙමල විරෝධී වර්ගවාදය උත්සන්න කල බව ද ඊට එරෙහි ව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය නායකත්වය දුන් කම්කරු පන්තියේ අරගලයක් පැවති බව ද වසන් කරයි. සිංහල ජනතාවාදයට කෙමෙන් අනුගත වෙමින් සිටි ලංකා සමසමාජ පක්ෂය (ලසසප) ධනපති ශ්‍රීලංනිපය සමග සභාග ආන්ඩු ගතවීමෙන් මේ අරගලය පාවාදීම, සිංහල පාලක පන්තියට වර්ගවාදය ඇදීමට අබාධිත තත්වයක් නිර්මානය කලේ ය. 

සිංහල දේශප්‍රේමය හා රැඩිකල්වාදය කරපින්නා ගත් ජවිපෙ සංවිධානය වීම සහ දෙමල ධනපති පන්ති පක්ෂවල ආධිපත්‍ය වැඩීම හා බෙදුම්වාදී එල්ටීටීඊ ය මතුවීම ලසසප පාවා දීමෙන් ඇති කෙරුනු දුර්විපාකයන්  ය. 

1994 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති වෙමින් පිහිට වූ ආන්ඩුව දෙමල ජනයාට සාකච්ඡා කිරීමට අවකාශය ලබා දුන්නේ යයි කීම ද දේවසිරි ගේ පචයකි. රැඩිකල් මුහුනත් තහඩුවක් දමා ගෙන ඇය බලයට ආවේ, යුඇන්පී 17 වසරක පාලනය අර්බුදයෙන් කීතු වූ තතු තුල ධනපති පාලනය ආරක්ෂා කර ගැනීම සඳහා නව පෙල ගැසීමක් තුලිනි. කුමාරතුංග, එල්ටීටීඊ ඇතුලු දෙමල ධනපති පක්ෂ ලං කර ගැනීමට සාම සාකච්ජා යෝජනා කල අතර, ජන ඝාතන වලින් මැඬුනු ගම්බද ජනයාගේ මානුෂික අයිතීන් රැකීමට ද සමාජ අයිතීන් විනාශයට ලක් කෙරුනු ජනයාගේ විරුද්ධත්වය ගසා කෑමට ආර්ථික ප්‍රතිසංස්කරන “මානුෂික මුහුනුවරකින්” ක්‍රියාවට දැමීමට ද පොරොන්දු වූවා ය. 

කුමාරතුංග වඩම්මා ගැනීමට එක්වූවන් අතර, යලිත් දේශපාලන කරලියට එමින් සිටි ජවිපෙ සිටි අතර, විදේශ ගත ව පශ්චාත් නුතනවාදයෙන් ඔජවැඩී ලංකාවට පැමින, පසු ව පශ්චාත්- මාක්ස්වාදීන් ලෙස තමන් ප්‍රකට කරගත් දේවසිරි ප්‍රමුඛ කන්ඩායම ඇගේ පාලනය උත්කර්ෂයට නැංවූහ. ධනපති පන්ති පාලනය අර්බුදයෙන් ගලවා ගැනීමට දේවසිරි ද තමන්ගේ දායකත්වය ලබා දුන් අවස්ථා බෝහොමයකි. 

2015 ජනාධිපතිවරනයේ දී දේවසිරි තමන් නායකත්වය දුන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මෛත්‍රිපාල සිරිසේනට සහය දීම සඳහා ගිවිසුමකට මෙහෙය වූයේය. සිරිසේන බලයට ගෙන ඒම වනාහි ලංකාවේ ප්‍රභූ තන්ත්‍රයේ කොටසක් සහ වොෂින්ටනය ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයෙන් පහ කිරීමට සිදු කල තන්ත්‍ර මාරු මෙහෙයුමකි. එක්සත් ජනපදය මුල දී රාජපක්ෂගේ ලේ වැකි වර්ගවාදී යුද මෙහෙයුමට ආධාර දුන් නමුත්, ඔහු චීනය වෙත නැඹුරු වීම ගැන විරසක වී සිටියේ ය. 

සිරිසේන ආන්ඩුව වැඩිකල් යන්ට මත්තෙන් මහජන විරෝධයට ලක්වන්ට පටන් ගත් අතර, දේවසිරි ආන්ඩුව රැකීමට වියරු ලෙස දායකත්වය සැපයුවේ, දැන් වගේ ම  දකුනන් ගෙන් ආන්ඩුව  රැක ගත යුතු බව කියමිනි. ඔහු මෙසේ කීවේ ය: “පසුගිය ජනාධිපතිවරනයේ දී ඉදිරිපත් වුනු අදහස් ඉතා ම විශිෂ්ට අදහස්. යහපාලනය පිලිබඳ ව, ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ව, සමාජ සාධාරනත්වය පිලිබඳ ව ... ඒ අදහස් අපි ඉදිරියට ගෙන යන්න ඕන. 1917 වසරේ දී රුසියානු විප්ලවයේ අවස්ථා දෙකක් තිබුනා. සාර් පාලනය බිඳ වැටුනු ‘පෙබරවාරි විප්ලවය’ සහ ඔක්තෝබර් විප්ලවය. අපෙත් පෙබරවාරි විප්ලවය සිදුවුනා. ඔක්තෝබර් විප්ලවයක් අපට අවශ්‍යයි. ඔක්තෝබර් විප්ලවය කීවේ සංකේතාත්මක එකක් මෙතනදි. තියෙන එක බිඳ වැටුනට පැරදුනු අය දැන් ආයේ එන්න හදනවා. ඒකත් භයානක තත්වයක්. රාජපක්ෂලා නැවතත් පරන න්‍යාය පත්‍රය සමගින් එලි බැහැගෙන එනවා. ඒක පරාජය කරන්න ඕන මුලින් ම. ඒක තමයි අපට තිබෙන අභියෝගය.”     

 ලැජ්ජාවක් නැති දේවසිරි කියනු ඇත්තේ ඒ එදාට අදාල ව පැවසූ දෙයක් බවයි. නමුත් එදා ද මෙදා ද ඔහු කරන්නේ ධනපති පන්ති පාලනය රැකීමයි. 

වත්මන් ආන්ඩුව යටතේ “ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක්” ඇති ව තිබෙන බවට මහාචාර්ය තුමා කරන ප්‍රකාශය ද බොරුවකි. ආන්ඩුව කම්කරු අරගලවලට එරෙහි ව  අත්‍යවශ්‍ය සේවා පනත, හදිසි නීතිය ආදි සියලු මර්දන නීති අමෝරා ගත් අතර පීටීඒ යොදා දෙමල හා මුස්ලිම් තරුනයන් අත්අඩංගුවට පත් කලේ ය. දැන් තවත් රුදුරු බලතල සහිත “තස්ත්‍ර විරෝධී” පනතක් ගෙන ඒමට යයි. ආන්ඩුව සිංහල හා බෞද්ධ ස්වෝත්තමවාදී බලවේගවලට දිරි දෙමින් සිටියි.  

සභාවට සිය අදහස් දැක් වූ සමාජවාදී සමානතා පක්ෂයේ මධ්‍යම කාරක සභික දිනේශ් හේමාල් ජවිපෙ ආන්ඩුවට එරෙහි ව ඇති ඕනෑ ම විරුද්ධත්වයක් “බලයෙන් පහ කරන ලද දූෂිත දේශපාලකයන් නැවත බලයට ගෙන ඒමට දරන උත්සහයක් ලෙස” සාධාරනීයකරනය කිරීමට සංවිධායකයන් දැරූ උත්සහය හෙලා දැක්කේ ය. 

සිංහල මහජනතාව වර්ගවාදී ලෙස පෙන්නුම් කරමින් ජනතා විමුක්ති පෙරමුනේ වර්ගවාදී ඉතිහාසය වසන් කිරීමට දේවසිරි-කන්න්ගර දැරූ උත්සහය හෙලා දුටු හේමාල් ජවිපෙ වර්ගවාදයත් මෙ තෙක් කොලඹ ආන්ඩුවල පැවති සිංහල ස්වෝත්තමවාදී පාලනයන්ගේත් පදනම ඇත්තේ නිදහසින් පසු මෙ රට ඇට වූ ඒකීය ධනේශ්වර රාජ්‍යයේ පදනම වන කම්කරු පන්තිය වාර්ගික පදනම්වලින් බිඳීමය යන කාරනය අවධාරනය කලේ ය. 

ආන්ඩුව ගෙන යන අයිඑම්එෆ් රුදුරු කප්පාදු පියවරවලට එරෙහි ව කම්කරුවන්, ගොවීන් හා සිසුන් ගේ අරගල වර්ධනය වෙමින් පවතින බව පෙන්වා දුන් සසප සාමාජිකයා, ජවිපෙ ආන්ඩුවට හා ධනපති පන්ති පලනයට එරෙහි ව සටන් කිරීමට සමාජවාදී වැඩපිලිවෙලින් කම්කරු පන්තිය බලමුලු ගැන්විය යුතු බව කියා සිටියේ ය. දෙමල ජනතාවට හා අනෙකුත් පීඩිත ජන කොටස් වලට එරෙහි වාර්ගික වෙනස්කම් කිරීමේ මූලය ධනපති ක්‍රමය හා සිංහල බෞද්ධ ඒකීය රාජ්‍යයි. මෙම රාජ්‍යය අහෝසි කොට ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපයෙන් කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම සහ දකුනු ආසියාවේ සමාජවාදී සමුහාන්ඩු සංගමයකට කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සසප සටන් කරන බව හේමාල් පෙන්වා දුන්නේ ය. 

Loading