ඉදිරිදර්ශන

UAW මැතිවරන ව්‍යසනය: සාමාජිකයන්ගෙන් සියයට 90කට වැඩි පිරිසක් ඡන්දය වර්ජනය කරද්දී, වෘත්තීය සමිති නිලධරය ෆේන් යලි බලයට පත් කරයි

[මෙය UAW election debacle: More than 90 percent of members boycott vote, as apparatus reinstalls Fain යන මැයෙන් 2026 ඔක්තෝබර් 11 දින ඉංග්‍රීසි බසින් පල විය.]

ඇමරිකන් ඇක්සල් හි 2093 අංකය දරන UAW ශාඛාවේ සේවකයින් අතර, වැටුප්, රැකියා සුරක්ෂිතභාවය සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් වැඩෙන කෝපය මධ්‍යයේ, 2026 මැයි 31 දින මාධ්‍ය හමුවක් අමතන UAW සභාපති ෂෝන් ෆේන් - [ඡායාරූපය: UAW] [Photo: UAW]

යුනයිටඩ් ඔටෝ වර්කර්ස් (UAW - United Auto Workers) වෘත්තීය සමිතියේ නිලධාරීන් තෝරා පත් කර ගැනීම සඳහා 2026 වසරේ පැවති ඡන්ද විමසීම, එම නිලධාරි තන්ත්‍රයට අන්ත පරාජයක් අත්කර දෙමින් අවසන් විය. සමිති සාමාජිකයන්ගෙන් සියයට 90 කට අධික පිරිසක් මෙම ඡන්ද විමසීම වර්ජනය කලහ. වෘත්තීය සමිතියේ සමස්ත යාන්ත්‍රනය ම තම පාලනය යටතේ තිබිය දී ත්, ෂෝන් ෆේන් නැවත තේරී පත් ව ඇත්තේ සියයට 6 ක පමන සාමාජික සංඛ්‍යාවකගේ ඡන්දයෙනි.

මෙම ඡන්ද විමසීම තුල ප්‍රතිවිරෝධී ප්‍රවනතා දෙකක් ප්‍රකාශයට පත් විය. ෆේන් නියෝජනය කලේ තමන් පිටුපස පෙලගැසුනු වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රයේ නිලධාරිවාදී ජඩ බවයි. සභාපති තනතුරට තරඟ කල, මැක් ට්‍රක්ස් ආයතනයේ කම්කරුවෙකු සහ සමාජවාදියෙකු වන විල් ලේමන් නියෝජනය කලේ, පහල සාමාජිකත්වයේ  කැරැල්ලක වර්ධනය සහ කම්කරු පන්තිය තුල වැඩෙන සමාජවාදී හා ජාත්‍යන්තරවාදී නැඹුරුවයි. ඔහුගේ මැතිවරන ප්‍රචාරක කටයුතු සාමාජිකයින් වෙත ලඟා වීම ප්‍රායෝගික ව වලක්වා තිබූ තත්වය යටතේ, ඔහු ලබාගත් ඡන්ද ප්‍රමානයේ ඉමහත් අර්ථභාරයක් පවතී.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, අධිකරනය විසින් පත් කරන ලද නිරීක්ෂකයා විසින් නිකුත් කරන ලද ඡන්ද ගනන් කිරීමේ පත්‍රිකා, කලාපයෙන් කලාපය සහ ප්‍රදේශයෙන් ප්‍රදේශය වශයෙන් පරීක්ෂා කර බැලී ය. ඉදිරි දින කිහිපය තුල වඩාත් සවිස්තරාත්මක විශ්ලේෂනයක් ඉදිරිපත් කිරීමට නියමිත නමුත්, මෙහි දැක්වෙන්නේ ඒ හා සම්බන්ධ වඩාත් වැදගත් කරුනු කිහිපයකි:

  • සේවයේ නියුතු සහ විශ්‍රාමික සාමාජිකයින් මිලියන 1.1 ක් පමන ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ. ගනන් කරනු ලැබූ ඡන්ද සංඛ්‍යාව 98,029 ක් පමනක් වූ අතර, එය සියයට 8.9 ක ප්‍රතිශතයකි; ඉන් ඡන්ද 97,043 ක් සභාපතිවරයා තෝරා ගැනීම සඳහා භාවිත කර තිබුනි. සාමාජිකයින් මිලියනයකට අධික පිරිසක්, එනම් සෑම දස දෙනෙකුගෙන් නව දෙනෙකු ම, ඡන්දය ප්‍රකාශ කර තිබුනේ නැත.
  • ෆේන් ඡන්ද 66,166 ක් ලබා ගත්තේය. සභාපති ධුරය සඳහා ප්‍රකාශිත ඡන්දවලින් සියයට 68 ක් වූ එම අගය, සමස්ත සාමාජිකත්වයෙන් සියයට 6 ක් පමනක් වන අතර, එය දල වශයෙන් සාමාජිකයන් 17 දෙනෙකුගෙන් එක් අයෙකුට සමාන වේ. මෙය 2023 වසරේ පැවති දෙ වන වටයේ ඡන්ද විමසීමේ දී ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාවටත් වඩා අඩු අගයකි. එ පමනක් නොව, මෙම සංඛ්‍යාවට, සංගමයේ පරිපාලන යාන්ත්‍රනය මත සිය තනතුරු රඳා පවතින නිලධාරීන්, කාර්ය මන්ඩල සාමාජිකයින් සහ විවිධ තනතුරුවලට පත් කරනු ලැබූ දහස් ගනනකගේ ඡන්ද ද ඇතුලත් වේ.
  • 2022 වසරේ දී, එම වෘත්තීය සමිතියේ නිලධාරීන් තෝරා පත් කර ගැනීම සඳහා පැවත්වුනු පලමු සෘජු මැතිවරනයේ දී ඡන්ද 104,776 ක් ප්‍රකාශයට පත් කෙරුනු අතර, ඉන් ඡන්ද 103,495 ක් සභාපති ධුරය සඳහා ලැබී තිබුනි. ඇමරිකානු ඉතිහාසයේ ජාතික මට්ටමේ වෘත්තීය සමිති මැතිවරනයක් සඳහා වාර්තා වූ අඩුම ඡන්ද ප්‍රතිශතය එය විය. ෆේන් සිය පලමු ධුර කාලය සම්පූර්න කිරීමෙන් පසු පැවති මෙවර මැතිවරනයේ දී ඡන්දය ප්‍රකාශ කර තිබුනේ, ඊට පෙර අවස්ථාවට වඩා 6,700 ක් පමන අඩු සාමාජික පිරිසකි.
  • 2022 වසරේ දී, එකල සභාපති ව සිටි රේ කරි වටා එක් වූ පාර්ශ්වය සහ ෆේන් වටා එක් වූ පාර්ශ්වය යන නායකත්ව කන්ඩායම් දෙක, ඡන්ද විමසීමේ පලමු වටයේ දී ඒකාබද්ධ ව ඡන්ද 78,530 ක් ලබා ගත්හ. මෙවර, ෆේන් සහ ඔහුට එරෙහි ව තරඟ කල උප සභාපති අපේක්ෂක රිච් බෝයර් යන දෙ දෙනා ම එක් ව ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 79,034 ක් වූ අතර, එය පෙර වසරට බොහෝ දුරට සමාන අගයකි. සාමාජිකයින් ඡන්ද ක්‍රියාවලියෙන් ඈත් ව සිටිය ද, සංවිධාන යාන්ත්‍රනය හා සම්බන්ධ පාර්ශ්වයන්ගේ ඡන්ද ප්‍රමානය නොවෙනස් ව පැවතුනි.
  • සංගමයේ කලාප නවයෙන් හතක ම ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව පහත වැටී තිබුනි. නිව් යෝර්ක් සහ නිව් ඉංග්ලන්ඩ් ආවරනය වන 9A කලාපයේ දී, එම සංඛ්‍යාව 4,492 සිට 2,346 දක්වා, එනම් අඩකට ආසන්න ප්‍රමානයකින් අඩු විය. 8 වන කලාපයේ සියයට 17 කින් ද, 4 වන කලාපයේ 14 කින් ද, 1A කලාපයේ 11 කින් ද ඡන්ද සංඛ්‍යාව පහත වැටුනි. කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබුනේ බටහිර පිහිටි 6 වන කලාපයේ පමනි. එය බොහෝ දුරට සිදු වූයේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මන්ඩල සාමාජිකයින් හේතුවෙනි; එහි දී අදාල ප්‍රාදේශීය ශාඛාවේ ඡන්ද සංඛ්‍යාව දෙ ගුන වුව ද, එය සමස්ත සාමාජික සංඛ්‍යාවෙන් ඉතා කුඩා කොටසක් පමනක් විය.
  • වෘත්තීය සමිතියේ ඓතිහාසික කේන්ද්‍රස්ථානය වන ඩෙට්‍රොයිට් නගරය සහ ඒ අවට ප්‍රදේශය ඇතුලත් 1 සහ 1A කලාපවල, සේවයේ නියුතු සහ විශ්‍රාමික සාමාජිකයින් 300,000 කට අධික සංඛ්‍යාවක් සිටිය ද, එහි ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව වූයේ 26,380 ක් පමනි; එනම් එය සියයට 9 කටත් අඩු ප්‍රතිශතයකි. ඉන් ඡන්ද 16,800 ක් පමන ෆේන් වෙත ලැබී තිබුනු අතර, එය එම කලාප දෙකේ සාමාජිකයින්ගෙන් සියයට 6 කටත් අඩු ප්‍රමානයකි. ඩියර්බෝන් හි පිහිටි ෆෝඩ් රූජ් සංකීර්නය (Ford Rouge complex) ද ඇතුලත් Local 600 ශාඛාවේ, සාමාජිකයින් 24,006 දෙනෙකුගෙන් ඡන්දය ප්‍රකාශ කර තිබුනේ 2,999 දෙනෙකි; එය ආසන්න වශයෙන් සියයට 12 ක ප්‍රතිශතයකි. ඉන් ඡන්ද 2,280 ක් ෆේන් වෙත ලැබී තිබුනු අතර, එය එම ශාඛාවේ සාමාජිකයින්ගෙන් දස දෙනෙකුගෙන් එක් අයෙකුටත් වඩා අඩු ප්‍රමානයකි.
  • මිෂිගන්හි වොරන්හි පිහිටි Local 155 ශාඛාවේ - මෙයට Dana, Magna සහ අඩු වැටුප් ලබන වෙනත් අමතර කොටස් නිෂ්පාදන කම්කරුවන් ඇතුලත් වේ - සාමාජිකයින් 5,600 කට අධික සංඛ්‍යාවක් සිටිය ද, ඡන්දය ප්‍රකාශ කර තිබුනේ 273 දෙනෙකු පමනි; එනම්, එය සියයට 5 කටත් අඩු ප්‍රමානයකි. මිෂිගන්හි ත්‍රී රිවර්ස් හි පිහිටි American Axle කර්මාන්ත ශාලාවට අදාල Local 2093 ශාඛාවේ දී ඡන්දය ප්‍රකාශ කර තිබුනේ 179 දෙනෙකු පමනි. ජූනි මාසයේ දී, මෙම කර්මාන්ත ශාලාවේ සේවය කරන කම්කරුවන් 1,000 කට ආසන්න පිරිසක් දියත් කල වැඩ වර්ජනයක් UAW විසින් නතර කරනු ලැබී ය.
  • ඡන්ද පත්‍රිකා ආපසු එවූ ප්‍රාදේශීය ශාඛා 420 අතුරින් අඩක් සභාපති ධූරය සඳහා ඡන්ද 63 ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් පාවිච්චි කර තිබූ අතර, ශාඛා 190 ක් ලබා දී තිබුනේ ඡන්ද 50 කට වඩා අඩු සංඛ්‍යාවකි. විශාල ත ම ප්‍රාදේශීය ශාඛා 50 මගින් ලබා දුන් ඡන්ද සංඛ්‍යාව, සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් අඩකටත් වඩා වැඩි විය.
  • කොලොම්බියා විශ්ව විද්‍යාලයේ අධ්‍යයන සේවකයින් අතර, ආසන්න වශයෙන් සාමාජිකයින් 3,000 කින් ඡන්දය ප්‍රකාශ කර තිබුනේ 29 දෙනෙකු වන අතර එය සියයට 1 ට වඩා අඩු අගයකි. මෙහි දී, යුද්ධයට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කරන ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩ වර්ජන ක්‍රියාමාර්ග අවහිර කිරීමට යූඒඩබ්ලිව් මැදිහත් විය. හාවඩ් හි උපාධිධාරී සේවකයින් 4,000 කට වැඩි පිරිසක් මෙම වසන්තයේ වැඩ වර්ජනයක නිරත වූහ. මාස පහකට පසු වෘත්තීය සමිති ඡන්ද විමසීමේ දී, ඔවුන්ගේ ශාඛාව ඡන්ද 53 ක් ප්‍රකාශ කර තිබූ අතර එය සාමාජිකත්වයෙන් සියයට 1 ක් පමන විය; 2022 දී එය 308 ක් විය.
  • මෙම සංඛ්‍යාලේඛන සහභාගීත්වය අධිතක්සේරු කරයි. සෑම ප්‍රදේශයක ම ඡන්ද එකතුවට, සුදුසුකම් ලත් සාමාජිකත්වයෙන් බහුතරයක් වන විශ්‍රාමිකයන් ඇතුලත් වන අතර, සඳහන් කර ඇති සාමාජික සංඛ්‍යාලේඛනවල සේවයේ නියුතු සේවකයින් පමනක් ගනන් ගෙන ඇත. එසේ වුවද, කම්හල්වල සේවකයින් අතර සහභාගීත්වය අඩු විය. ඒ සමඟ ම, ඡන්දය දීමට සුදුසුකම් ඇති ලක්ෂ සංඛ්‍යාත විශ්‍රාමිකයන් අතර ගැඹුරු අතෘප්තියක් පවතී.

මෙම කරුනු මගින් එලඹිය හැකි නිගමනය මග හැරිය නොහැක්කකි. මෙයින් ප්‍රකාශයට පත්වන්නේ තමන් නියෝජනය කරන්නේයැයි කියන  කම්කරුවන් අතර කිසිදු මුල් බැස ගැනීමක් නොමැති නිලධාරි තන්ත්‍රයක හුදකලාභාවයයි. සාමාන්‍ය කම්කරුවන් මෙම නිලධාරි තන්ත්‍රය දෙස බලන්නේ උත්සුකයක් නොමැති සහ සතුරු හැඟීමකිනි.

ෆේන්ගේ ආධාරකරුවන් මෙය උදාසීනත්වයකට ආරෝපනය කරනු ඇත. මෙය බොරුවකි. මැතිවරනය පැවැත්වුනේ අමතර කොටස් කම්හල්වල ගිම්හානයේ ඇති වූ කැරැල්ලකින් පසු ව ය. මිෂිගන්හි සැගිනෝ හි නෙක්ස්ටියර් හි කම්කරුවන් තාවකාලික ගිවිසුම් තුනක් ප්‍රතික්ෂේප කල අතර වැඩ වර්ජනය කිරීමට සියයට 86 ක් ඡන්දය දුන්හ. UAW, වැඩවර්ජන ඡන්දය වලලා දමා සමාගමේ දේපලක් වූ කම්හල තුල පැවති ඡන්දයක දී සිව්වන ගිවිසුම සම්මත කර ගත්තේ ය. ඩානා සහ බ්‍රිජ්වෝටර් හි කම්කරුවෝ විශාල ඡන්ද ප්‍රමානයකින් UAW පිටුබලය ලත් කොන්ත්‍රාත්තු ප්‍රතික්ෂේප කලහ.

ගිවිසුම් සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටි විට, ඔවුහු එම ගිවිසුම් ප්‍රතික්ෂේප කලහ. එම ගිවිසුම් ඔවුන් මත පැටවූ වෘත්තීය සමිති, නායකයින් තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටි විට, ඔවුහු ඊට සහභාගි නොවී සිටියහ.

තවත් කරුනක් නම්, බොහෝ සේවකයින් ඡන්ද විමසුමක් පැවැත්වෙන බව දැන සිටියේ නැත; එසේත් නැති නම්, ඔවුන්ට ඡන්ද පත්‍රිකා ලැබුනේ නැත. 2022 වසරේ දී, විශාල සේවකයින් පිරිසකට ඡන්ද පත්‍රිකා නොලැබුනු බවත්, මැතිවරනයක් පැවැත්වෙන බව ඔවුන් නොදැන සිටි බවත් ලේමන් විසින් ෆෙඩරල් අධිකරනයකට, අධීක්ෂකවරයාට සහ කම්කරු දෙපාර්තමේන්තුවට සාක්ෂි ඉදිරිපත් කරන ලදී. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනුනු අතර, මෙම වසරේ දී ද ඡන්ද පත්‍රිකා ලබා ගැනීමේ දී ගැටලු ඇති වූ බව සේවකයෝ වාර්තා කලහ. ලේමන්ට පවා නැවත නැවත ඉල්ලීම් කිරීමට සිදු විය.

නිලධර යාන්ත්‍රනය ගැන කියන්නේ නම්, ඡන්ද විමසුම එහි අභ්‍යන්තර බෙදීම් සමථයකට පත් කිරීමට උපකාරී විය. වැඩෙන කැරැල්ලකට මුහුන දුන් එය, ෆේන් වටා සිටි පිරිස් තවත් ඔහුට සමීප කලේ ය. ඔහු පැරනි පරිපාලන මන්ඩලයෙන් තම එක්සත් UAW අපේක්ෂක ලැයිස්තුවට ගෙන ආවේ, සාමාජිකයින් පාවා දීම සහ  සාමාජිකත්වයේ සෘජු ඡන්දයෙන් නිලධාරීන් තෝරා පත්කර ගැනීමට විරුද්ධ වීම සම්බන්ධයෙන් වසර හතරකට පෙර ඔහු විසින් ම හෙලා දුටු ස්ථරයමයි. ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් (DSA) ඇතුලු ඩිමොක්‍රටික් පක්ෂයේ ව්‍යාජ වාම කන්ඩායම් ද ෆේන් පිටුපස එක් විය. මෙම බලවේග සාමාජිකත්වය බැහැර කිරීම සාදරයෙන් පිලිගනී. මන්ද ඔවුන්ගේ පදනම නිලධරය ම වන බැවිනි.

මෙම වෘත්තීය සමිති උපකරනයට අභියෝග කලේ ලේමන්ගේ උද්ඝෝෂනය පමනි. එය නිලධාරිවාදය අහෝසි කරන ලෙසත්, බලය සේවා ස්ථානවල තිබෙන ක්‍රියාකාරී කමිටු වෙත පවරන ලෙසත් ඉල්ලා සිටියේ ය.

සමස්ත වෘත්තීය සමිති ඡන්ද විමසුමේ දී, ලේමන් ඡන්ද 1,936 ක් ලබා ගත් අතර, එය සභාපති ධුරය සඳහා ප්‍රකාශිත ඡන්දවලින් සියයට 2ක් විය; මෙය 2022 වසරේ ඔහු ලබා ගත් ඡන්ද 4,777 කට වඩා අඩු අගයකි. වෘත්තීය සමිතියේ සෑම කලාපයක ම පිහිටි ප්‍රාදේශීය ශාඛා 293 කින් ඔහුට ඡන්ද ලැබී තිබුනි. එහෙත්, ඔහු ලබා ගත් ඡන්ද සම්බන්ධයෙන් වඩා ත් ම වැදගත් කරුන වන්නේ, සේවකයින් ඔහු සහ ඔහුගේ වැඩපිලිවෙල හොඳින් දැන සිටි ස්ථානවල ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව සහ ඔහුගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව අතර පවතින පරතරයයි.

ලේමන් පෙන්සිල්වේනියාවේ මැකන්ජි හි පිහිටි මැක් ට්‍රක්ස් ආයතනයේ සේවය කරයි. එම කර්මාන්ත ශාලාව නියෝජනය කරන UAW Local 677 තුල, ඔහුට ලැබුනු ඡන්ද සංඛ්‍යාව 301 න් 67 ක් හෙවත් සියයට 22 කි; ඒ අනුව ඔහු ෆේන්ට පසුව දෙවන ස්ථානයට පත්විය. 2022 වසරේදී සියයට 18.6 ක්ව පැවති ඔහුගේ ඡන්ද ප්‍රතිශතය මෙවර ඉහල ගිය අතර, ෆේන්ගේ ඡන්ද ප්‍රතිශතය සියයට 37 සිට 32 දක්වා පහත වැටුනි.

ලේමන්ගේ ඡන්ද පහත වැටීම මගින්, ඡන්ද ප්‍රකාශ කිරීමේ සමස්ත පහත වැටීම—මෙය වෘත්තීය සමිති උපකරනයට වාසිදායක විය—සහ ඔහුගේ මැතිවරන ව්‍යාපාරය පැවැත් වූ කොන්දේසි පිලිබිඹු කරයි. 2022 සමුලුවේදී නීති මාලාවක් සම්මත කරන ලද අතර මෙම වසරේ පලමු වරට එය ක්‍රියාත්මක විය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය සේවා යෝජකයෙකු ලෙස සැලකිය යුතු බවට වූ සැක මත, ලේමන්ට එහි සහාය තහනම් බවට තීන්දු කරන ලදී. ලෝසවෙඅ හට ඔහු නිර්දේශ කිරීම තහනම් කරන ලදී. 2022 උද්ඝෝෂනය අතරතුර දස දහස් ගනනක් කම්කරුවන් කියවූ සහ ඔවුන් වෙත ලඟා වීමේ වැදගත් ම මාධ්‍යය වූ එහි මෝටර් කම්කරු පුවත් ලිපිය (Autoworker Newsletter), උද්ඝෝෂනය ප්‍රවර්ධනය කිරීම සඳහා තව දුරටත් භාවිතා කල නොහැකි විය.

සාමාජිකයන් නොවන අයට අපේක්ෂකයෙකු වෙත “වටිනාකමක් ඇති යමක්” ලබා දීම තහනම් කර තිබූ අතර ම, එම සංවිධානාත්මක යාන්ත්‍රනය සතු ව එහි ම අතිවිශාල සම්පත් ප්‍රමානයක් තිබුනි. මෙම සීමා කිරීම් සෘජු ව ම ඉලක්ක කර තිබුනේ ලේමන්ගේ ඡන්ද ව්‍යාපාරය වෙත ය. එ මෙන් ම, මැතිවරනයක් පැවැත්වෙන බව කම්කරුවන්ට දැනුම් දීම ඇතුලු කටයුතු සඳහා මොනිටර් (Monitor) හරහා සංවිධානය කෙරුනු, වියදම් අධික ඊමේල් පනිවිඩ භාවිත කිරීමේ හැකියාව ද එ මගින් දැඩි ලෙස සීමා කෙරිනි.

කෙසේ වෙතත්, ඔහුගේ ව්‍යාපාරය කම්කරුවන්ට සෘජු ව ම ලඟා වූ සෑම තැනක ම ලේමන් සැලකිය යුතු සහයෝගයක් දිනා ගත්තේ ය. මෙයට මිෂිගන්, ඔහායෝ, ඉන්දියානා, කෙන්ටකි සහ අනෙකුත් ප්‍රාන්තවල ඩෙට්‍රොයිට්, ත්‍රී ඩියර්, කැටපිලර් සහ නෙක්ස්ටීයර් හි කම්කරුවෝ ඇතුලත් වෙති. වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සේවකයින් අතර ඔහු දෙවන ස්ථානයට පත් විය. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ දී, ඔහු අධ්‍යයන සේවකයින්ගෙන් ඡන්ද 285 ක් ලබා ගත් අතර, Local 1115 හි ඔහු කැලිෆෝනියා ප්‍රාන්ත විද්‍යාඥයින් අතර දෙවන ස්ථානයට පත් විය. මිෂිගන් රාජ්‍ය සේවකයින් ආවරනය වන පරිදි Local 6000 හි එක් කොටසකින් ඔහු සියයට 7 ක් දිනා ගත්තේ ය. මේරිලන්ඩ් හි හේගර්ස්ටවුන් හි මැක් ට්‍රක්ස් පවර්ට්‍රේන් කම්හලේ දී, ඔහු සියයට 6 කට වඩා දිනා ගත්තේ ය.

ලේමන්ට ඡන්දය දුන් අය ඔහු හඳුනා ගත්තේ පවතින වෘත්තීය සමිති යාන්ත්‍රනයට එරෙහි සමාජවාදී විරුද්ධවාදියෙකු ලෙස වන අතර, ඔවුහු පන්ති විඥානයෙන් යුතු ව තම ඡන්දය ප්‍රකාශ කලහ. කම්කරු බලය තහවුරු කර ගැනීම, කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුකම සහ සමාජවාදය වෙනුවෙන් වන අරගලය ජනප්‍රිය කරවීම සඳහා ලේමන් තම මැතිවරන ව්‍යාපාරය යොදා ගත්තේ ය.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් විශාල පිරිසක් වැලකී සිටීම, විකල්පයක් සඳහා පවතින සහයෝගය පිලිබඳ පැහැදිලි ම දර්ශකය වේ. ඡන්දය නොදුන් ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ට අවශ්‍ය ව ඇත්තේ අරගල කිරීමට මාර්ගයකි. UAW යනු නාමික ව පමනක් පවතින වෘත්තීය සමිතියක් බවට, ඔවුහු තමන්ට ම ආවේනික වූ ආකාරයකින්, නිගමනයකට එලඹ සිටිති.

දශක ගනනාවක් පුරා, UAW කලමනාකාරීත්වයේ මෙවලමක් සහ රාජ්‍යයේ සංගතවාදී අංගයක් බවට පරිවර්තනය වී ඇත. එහි කාර්යය වන්නේ ශ්‍රම බලකාය පාලනය කිරීම, සංගත විසින් ඉල්ලා සිටින ගිවිසුම් ඔවුන් මත පැටවීම සහ විරෝධය මර්දනය කිරීමයි.

මෙම මැතිවරනය විසින් ලේමන් සහ ලෝසවෙඅ විසින් ඉදිරිපත් කරන ලද ස්ථාවරය තහවුරු කරනු ලබයි: එනම්, පන්ති අරගලයේ වර්ධනය සඳහා නව සංවිධාන ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ. කම්කරුවන්ගේ විරෝධය වර්ධනය විය හැක්කේ පවතින ව්‍යුහයන් ප්‍රතිසංස්කරනය කිරීම හරහා නොව, ඒවා අහෝසි කිරීම තුලිනි. ඒ සඳහා කම්කරුවන් විසින් ම පාලනය කරනු ලබන නව සංවිධාන රූප අවශ්‍ය වේ; එනම්, සෑම කර්මාන්ත ශාලාවක ම සහ සේවා ස්ථානයක ම පිහිටුවන කම්කරු ක්‍රියාකාරී කමිටු අවශ්‍ය වන අතර, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) හරහා මෙම කමිටු, විවිධ කර්මාන්ත ශාලා, කර්මාන්ත අංශ සහ ජාතික දේශසීමා හරහා එකිනෙක සම්බන්ධ විය යුතු ය.

UAW මැතිවරනයෙන් ගලා එන අනිවාර්ය නිගමනය වන්නේ, මෙවැනි කමිටු ගොඩනැගීමේත්, එක්සත් ජනපදය තුල මෙන්ම ජාත්‍යන්තර ව ද—වෘත්තීය සමිති සාමාජිකයන් වන හෝ නොවන—මෝටර් රථ කර්මාන්තයේ සේවකයන්ගේ, අනෙකුත් UAW සාමාජිකයන්ගේ සහ සෑම කර්මාන්තයක ම නියුතු කම්කරුවන්ගේ අරගලය සංවිධානය කිරීමේත් අත්‍යවශ්‍යතාවයි.

Loading